Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2021 22:30:36 Hours

“මගේ හමුදා දිවිය පුරාවට මා ලබා ගත් පුහුණුව, ලැබූ අත්දැකීම් සහ මා තුළ ඇති කළ ගුණාංග මා මේ රටේ ඉහළම ධුරයට තේරී පත්වීමට අත්‍යවශ්‍ය සාධක වූ බව” - අතිගරු ජනාධිපතිතුමන් සඳහන් කරයි

දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 96 වන විසිරි යාමේ පෙළපාළියේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අධිකාරියටපත් නව නිලධාරීන් අමතමින් සඳහන් කර සිටියේ “ඔබ මෙම ගමන ආරම්භ කරන විට, ඔබේ අණ යටතේ සිටින සොල්දාදුවන් සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව ඔබ වටහා ගත යුතුයි. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට ක්‍රියාකිරීම ඔබේ වගකීමකි. මෙය සිදුකිරීම සඳහා ඔබේ ඒකකය හොඳින් පුහුණු වූ සෞඛ්‍ය සම්පන්න සහ රාජකාරියට සුදුසු බව සහතික කළ යුතු බැවින්, ඔවුන්ගේ සුබසාධනය ගැන හොඳින් සැලකිලිමත් විය යුතු අතර එවිට ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතී. ඔබ ද, ශාරීරික පුහුණුවීම් සිදු කරන අවස්ථාවලදී, සරඹ ක්‍රියාකාරකම්වලදී, ආයුධ හැසිරවීම් සහ වෙනත් අභ්‍යාසවල නිරත වන විට ඔවුන් සමගම ගත කළ යුතු අතර ඔවුන්ට ලබාදෙන ආහාර සහ නවාතැන් පහසුකම් ප්‍රමිතියට අනුකූලව පවතින බවට තහවුරු කළ යුතුය. ඔවුන්ගේ නායකයා ලෙස ඔබ යටතේ සිටින පුද්ගලයන් ගැන එනම් ඔවුන්ගේ නම්, ඔවුන් කොහේ සිට පැමිණියේ ද, ඔවුන්ගේ පවුල් පසුබිම කෙබඳු ද සහ ඔවුන්ගේ චරිත ලක්ෂණ කවරේ ද යනාදිය ගැන දැන සිටිය යුතුය. ඔබට ඔවුන්ගේ විභවයන් පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. එවිට ඔබට ඔවුන් යෙදවිය හැකි කාර්යයන් පිළිබඳ තීරණය කළ හැකි බවයි”

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරින් අධිකාරියට පත්කිරීමේ 96 වන පෙළපාලිය පැවැත්වෙන මෙම උදෑසන ඔබව ඇමතීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි.

අද දින අධිකාරියට පත්කිරීමට ලක්වන කෙඩෙට් නිලධාරින්ට මම සුභාශිංසන පිරිනමන අතර, විද්‍යාපීඨයේ අණදෙන නිලධාරි සහ කාර්ය මණ්ඩලය, පෙළපාළි අණදෙන නිලධාරි, විද්‍යාපීඨ සැරයන් මේජර්, සරඹ උපදේශකවරුන් සහ කෙඩෙට් නිළධාරීන් විසින් විදහා දක්වන ලද උසස් ප්‍රමිතීන් පිළිබඳව ප්‍රශංසා කරමි.

මාලදිවයින් ජනරජය, රුවන්ඩා ජනරජය සහ සැම්බියා ජනරජයේ කෙඩෙට් නිලධාරින් හය දෙනෙකු සහ ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යභට නිලධාරීන් පස් දෙනෙකු අද මෙම පෙළපාළියට සහභාගී වී සිටීම පිළිබඳ මම විශේෂයෙන් සතුටු වෙමි.

අධිකාරියට පත්වූ නිලධාරියෙකු ලෙස ජාතියක හමුදාවට බැඳීමට ලැබීම, ඕනෑම තරුණයෙකුට ලැබෙන ඉමහත් ගෞරවයකි.

මෙවැනි දේශප්‍රේමී තරුණ තරුණියන් ඇති දැඩි කිරීම පිළිබඳව කෙඩෙට් නිලධාරීන්ගේ දෙමව්පියන්ට සහ පවුල්වලට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ඔවුන් තම ජීවිතයේ මෙම වැදගත් සන්ධිස්ථානයට පැමිණීම ගැන ඔබට දැඩි ආඩම්බරයක් ඇති බව මම විශ්වාස කරමි. එමෙන්ම, අනාගතයේදී ඔවුන් සන්නද්ධ හමුදාවන්හි නිරතව එම වෘත්තීය ජීවිතය තුළින් ඔවුන් ඔබව තවත් ආඩම්බරයට පත් කරනු ඇතැයි ද මට විශ්වාසයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙසත් ඔබේ සේනාධිනායකයා ලෙසත් ඔබ ඉදිරියේ මම පෙනී සිටිමි.

කෙසේ වෙතත්, මීට වසර පනහකට පමණ පෙර, යුද හමුදාවේ 4වන බඳවා ගැනීමේ කණ්ඩායමේ අධිකාරියට පත්කිරීමේ පෙළපාළියේ දී තරුණ කෙඩෙට් නිලධාරියෙකු ලෙස අද ඔබ සියලු දෙනා සිටගෙන සිටින ස්ථානයේ මම ද සිටගෙන සිටියෙමි.

මගේ හමුදා දිවිය පුරාවට මා ලබා ගත් පුහුණුව, ලැබූ අත්දැකීම් සහ මා තුළ ඇති කළ ගුණාංග මා මේ රටේ ඉහළම ධුරයට තේරී පත්වීමට අත්‍යවශ්‍ය සාධක වූ බවට කිසිදු පැකිළීමකින් තොරව පැවසීමට මම කැමැත්තෙමි.

එබැවින් මගේ වෘත්තීය ජීවිතය තුළින් මා ලබා ගත් අත්දැකීම් මත පදනම් වූ වැදගත් අදහස් කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි; එය ඔබට හොඳ ස්ථාවරයක් වනු ඇත.

ඉහළම මට්ටමේ විනය, හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ වැදගත්ම අංගයන්ගෙන් එකක් බවට ඔබේ පුහුණුව අතරතුර ඔබට වැටහෙන්නට ඇත.

ඔබ මෙම ආයතනයට ඇතුළු වූ පළමු දිනයේ සිටම, ඔබේ දින චර්යාවේ කොටසක් බවට පත් වූ ශාරීරික පුහුණු අභ්‍යාස සහ සරඹවලට අමතරව, සෑම උදෑසනකම අවදි වී ඔබේ ඇඳ සකස් කර ගැනීම, ඇඳුම් අයන් (iron) කිරීම, සපත්තු ඔප දමා ඇති බව සහතික කිරීම සහ ඔබේ ඇඳුමේ සහ පෙනුමේ සෑම අංගයක්ම මනාව, පිරිසිදුව, ක්‍රමානුකූලව පවතින බව සහතික කිරීම ඔබේ පුහුණුවේ ප්‍රධාන අංගයක් විය. මෙයට හේතුවක් තිබේ.

මෙම සරල කාර්යයන් සඳහා ඔබ යොමුකරන අවධානය ඔබේ විනය ගොඩනැගීමට හේතුවේ, එය යම් දෙයක් කෙරෙහි සවිස්තරාත්මකව අවධානය යොමු කිරීමට උපකාරී වන අතර ඔබ ඔබේ දවස ආරම්භ කරන විට, කොතරම් කුඩා වුවත්, ජයග්‍රාහී හැඟීමක් ඔබට ලබා දෙයි.

ඔබේ වෘත්තිය, ඔබව ගෙනයන මාර්ගය කුමක් වුවත්, මේ සියල්ල පසුකාලීන ජීවිතයේ ඔබට උපකාරී වන අත්‍යවශ්‍ය ගුණාංග ලෙස ක්‍රියා කරයි.

විධායක අධිකාරී විසින් සෑම සවසකම PRI (රෙජිමේන්තු ආයතන සභාපති ගිණුම) අරමුදලේ අයවැය වාර්තා පරිස්සමින් තුලනය කරන ආකාරය, සංඥා බලකායේ තරුණ නිලධාරියෙකු ලෙස මම නිරීක්ෂණය කළෙමි. විධායක අධිකාරී විසින් කුඩා මුදල් ප්‍රමාණයන් පවා කිහිප වතාවක් ගණනය කර දවසේ වැඩ කටයුතු අවසන් කිරීමට පෙර එය ආරක්ෂිතව සේප්පුවේ අගුළු දමා ඇති බවට සහතික කෙරුණි.

මෙම සරල කාර්යය කෙරෙහි ඔහු එතරම් සැලකිල්ලක් දැක්වූයේ විනය සහ අවංකභාවය හමුදා ජීවිතයට ඉතා වැදගත් බැවිනි. තරුණ නිලධාරියෙකු ලෙස මෙය මට ඉතා අගනා පාඩමක් විය.

ඇකඩමියේ සිටි කාලය තුළ, ඔබ නිරත වූ බොහෝ පුහුණු අභ්‍යාස සිදු වූයේ සෙසු කෙඩෙට් නිලධාරීන් සමඟය.

අන් අය සමඟ හොඳින් එකට වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ එක් ලක්ෂණයකි.

පුද්ගලයෙකු වශයෙන් ඔබ කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුවත්, අන් අයගේ සහයෝගය නොමැතිව ඔබට සාර්ථක වීමට නොහැකි වන අවස්ථාවලට ඔබට මුහුණදීමට සිදුවනු ඇත.

එබැවින් කණ්ඩායම් හැඟීමෙන් වැඩකටයුතු කිරීම අත්‍යාවශ්‍ය ජීවන කුසලතාවක් වන අතර එය වැඩි දියුණු කළ යුතු වේ. හමුදාවේ ඔබේ වෘත්තිය දිවිය තුළ ඔබට ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා ලැබෙනු ඇත.

විශේෂයෙන්ම නිලධාරීන් වශයෙන්, ඔබ, ඔබේ නායකත්ව කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුතුය.

නුදුරේදීම ඔබව ඒකකයකට පැවරූ විට, ඔබ යටතේ සිටින සියලු නිලධාරීන්ගේ වගකීම භාර ගැනීමට ඔබට සිදුවේ.

ඔබ නිලයන් හරහා ඉහළට ගමන් කරන විට, ඔබේ වගකීම් ද ක්‍රමයෙන් වැඩි වනු ඇත.

කවදා හෝ ඔබ අතරින් කෙනෙකු හමුදාපති විය හැකි අතර සමස්ත සංවිධානයට හා එහි සිටින සාමාජිකයන්ට වගකිව යුතු අයකු වනු ඇත.

ඔබ මෙම ගමන ආරම්භ කරන විට, ඔබේ අණ යටතේ සිටින සොල්දාදුවන් සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව ඔබ වටහා ගත යුතුයි.

එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට ක්‍රියාකිරීම ඔබේ වගකීමකි.

මෙය සිදුකිරීම සඳහා ඔබේ ඒකකය හොඳින් පුහුණු වූ සෞඛ්‍ය සම්පන්න සහ රාජකාරියට සුදුසු බව සහතික කළ යුතු බැවින්, ඔවුන්ගේ සුබසාධනය ගැන හොඳින් සැලකිලිමත් විය යුතු අතර එවිට ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතී.

ඔබ ද, ශාරීරික පුහුණුවීම් සිදු කරන අවස්ථාවලදී, සරඹ ක්‍රියාකාරකම්වලදී, ආයුධ හැසිරවීම් සහ වෙනත් අභ්‍යාසවල නිරත වන විට ඔවුන් සමගම ගත කළ යුතු අතර ඔවුන්ට ලබාදෙන ආහාර සහ නවාතැන් පහසුකම් ප්‍රමිතියට අනුකූලව පවතින බවට තහවුරු කළ යුතුය.

ඔවුන්ගේ නායකයා ලෙස ඔබ යටතේ සිටින පුද්ගලයන් ගැන එනම් ඔවුන්ගේ නම්, ඔවුන් කොහේ සිට පැමිණියේ ද, ඔවුන්ගේ පවුල් පසුබිම කෙබඳු ද සහ ඔවුන්ගේ චරිත ලක්ෂණ කවරේ ද යනාදිය ගැන දැන සිටිය යුතුය.

ඔබට ඔවුන්ගේ විභවයන් පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. එවිට ඔබට ඔවුන් යෙදවිය හැකි කාර්යයන් පිළිබඳ තීරණය කළ හැකිය.

ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටත් නායකයෙකු ලෙස හැකියාවන් පෙන්වීමටත් ඔබට හැකි වන්නේ එවිට ය.

ඔබ ඔබේ අණ යටතේ සිටින පුද්ගලයන් අභිප්‍රේරණය කරන්නේ කෙසේ දැයි ඉගෙන ගැනීම අත්‍යාවශ්‍ය වේ.

වරින්වර පැන නගින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මිනිසුන්ට තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කිරීමට අභිප්‍රේරණය උපකාරී වේ.

1980 දශකයේ මුල් භාගයේ දී ගජබා රෙජිමේන්තුවේ මගේ අණදෙන නිලධාරියා වූයේ ජනරාල් විජය විමලරත්න ය.

යුද්ධය දරුණු ලෙස ඇවිලී ගිය පසු 1984 දී ගජබා රෙජිමේන්තුව උතුරු පළාත භාර ගන්නා විට ජනරාල් විමලරත්න අපට පැවසූයේ “අපගේ සුපුරුදු සය මසක කාලය අවසානයේ සහනයක් ලබා නොගෙන, යුද්ධය අවසන් වන තෙක් අප එහි සිටිය යුතු බවයි”.

ඔහු අපව දිරිමත් කළ ආකාරය නිසා වෙනත් කිසිඳු බල ඇණියකට වඩා වැඩි කාලයක් විවේකයක් නොගෙන එහි සිටීමට අපි කැමති වුණෙමු.

2009 දී අවසන් වූ යුද්ධය පුරාවට ම අපේ හමුදා සාමාජිකයන් අප්‍රමාණ කැපකිරීම් කළ අතර කිව නොහැකි දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඔවුන් එසේ කළේ බෙදුම්වාදය හමුවේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරක්ෂිත කිරීම සඳහා වූ මෙහෙවරට ඔවුන් සියලු දෙනාම දැඩි ලෙස කැපවී සිටින බැවිනි.

මෙම සහයෝගීතාවයෙන් සිදු කළ යුතු මෙහෙවර පිළිබඳ හැඟීම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් හමුදාවට පමණක් නොව සමස්ත ජාතියටම පැහැදිලිව සන්නිවේදනය කළ අතර එයට ආරක්ෂක ලේකම්වරයා ලෙස මා ඇතුළු යුද ප්‍රයත්නයට සම්බන්ධ සෑම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ම අයත් ය.

වසර තිහකට පසු ශ්‍රී ලංකාවට නැවත සාමය උදාවූයේ මෙම සහයෝගී හැඟීමෙන් සිදු කළ මෙහෙවර නිසාය.

අද ශ්‍රී ලංකාව භූක්ති විඳින ආරක්ෂාව සහ ස්ථාවරත්වය කිසි විටෙක සුළු කොට තැකිය යුතු නැත.

තරුණ නිලධාරීන් වශයෙන් ඔබට පැවරී ඇති වගකීම් උපරිමයෙන් ඉටු කරමින්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම සහතික කිරීමේ වගකීම ඔබ සැමට තිබේ.

ඔබට උරුම පරිසරය අප අත්විඳි පරිසරයට වඩා බොහෝ ආරක්ෂිත සහ ස්ථාවර එකක් වුව ද, ඔබගේ හමුදා සේවා කාලය තුළ සුවිශේෂි ප්‍රතිඵල ගෙන දෙන තීරණාත්මක තීරණ ගැනීමට ඔබව කැඳවන අවස්ථා ඔබට හමුවනු ඇත.

එවැනි අවස්ථාවන් හිදී ඔබගේ පුහුණුව, ඔබේ සහජ බුද්ධිය සහ ඔබේ අත්දැකීම් විශ්වාස කිරීමට සහ බියෙන් තොරව තීරණ ගැනීමට ඔබට ධෛර්යය තිබිය යුතුය.

ඉඳහිට ඔබ අතින් ඉහළ මට්ටමේ වැරදි සිදුවීමට ද ඉඩ ඇත.

අසාර්ථකත්වයන් ද ජීවිතයේ කොටසක් වන අතර, ඔබ ඒවායින් පසුබට නොවිය යුතුය.

ඒවා ඔබේ ඉගෙනුම් ක්‍රියාවලියේ අගනා අංගයන් වන අතර, ඔබට එමගින් ඉතා විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, ඔබ අසාර්ථක වීමට බිය නම්, එවැනි නිර්භීත තීරණ ගැනීමට ඔබ ඔබව දිරිමත් නොකරන අතර, තීරණාත්මක නොවීම හේතුවෙන් ඔබ කෙසේ හෝ අසාර්ථක වනු ඇත.

එබැවින් ධනාත්මක චින්තනය ඉතා වැදගත් වේ.

ශූභවාදී බව, ආත්ම විශ්වාසය සහ ඔබ, ඔබ ගැනම හා ඔබ කණ්ඩායමේ සිටින අය කෙරෙහි තබන විශ්වාසය ඔබේ සාර්ථකත්වයේ හදවත වනු ඇත.

අභිමානවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ නව බලයලත් නිලධාරීන් ලෙස ඔබ අද නික්ම යන විට ඔබ ලබා ඇති පුහුණුව ඔබගේ වෘත්තීය ජීවිතය තුළ ඉහළට යන සෑම අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

අවසාන වශයෙන් ඔබගේ අනාගත ජීවිතය සෑම අතින්ම සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කිරීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. ඔබට ස්තූතියි.