Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2021 06:51:26 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව අලුත්වැඩියා කොට නවීකරණය කරන ලද රථ වාහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයට

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත් වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ අනුව ප්‍රතිනවීකරණය කළ රථ වාහන කිහිපයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කටයුතු සඳහා ඉකුත් ඉරිදා (19) දින නිල වශයෙන් භාරදෙන ලදී.

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ප්‍රතිනවීකරණය කළ Tata Star බස් රථයක්, Ashok Leyland බස් රථයක්, Toyota Coaster බස්රථයක් සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කළ Unicolt වර්ගයේ ට්‍රක්රථයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රයෝජනය සඳහා භාරදෙනු ලැබීය.

එසේම, එම අවස්ථාවට තවත් විශේෂත්වයක් එක් කරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අශ්වයන් ප්‍රවාහනය කිරීම සඳහා නිර්මාණය කරන ලද විශේෂ ට්‍රක් රථයක් ද භාරදෙන ලදී.

යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැයවන අතිවිශාල විදේශ විනිමය පිරිවැය අවම කරගනිමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂගේ අධීක්‍ෂණය යටතේ අයෝග්‍ය කරන ලද වාහන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

ඒ අනුව, මෙලෙස ප්‍රතිනවීකරණය කරන ලද රථවාහන වල යතුරු සංකේතාත්මකව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නලින්ද නියංගොඩ වෙත එම අවස්ථාවේදී භාරදුන්නේය.

එම අවස්ථාවේදී, ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් සහ සංඥා බලසේනාවේ බලසේනාධිපති විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද්ධ හමුදාවේ භාවිතය සඳහා සන්නිවේදන උපකරණ කට්ටලයක් සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.