Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 19:50:32 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය නව ආඥාපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඉකුත් සිකුරාදා (17) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය. එම රාජකාරී භාරගැනීමේ උත්සවයට තවත් වැදගත්කමක් එක් කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය නව ආඥාපතිතුමන් වෙත පිරිනැමූහ.

එම අවස්ථාවට වැඩමවා වඳාල මහා සංඝරත්නය සෙත්පිරිත් සඡ්ඣායනා කර නව ආඥාපතිතුමන්ට ආශිර්වාද එක්කිරීමෙන් අනතුරුව එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. එම අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති, 51, 52 හා 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් සහභාගි වූහ.

නව ආඥාපතිතුමන්ට ආශිර්වාද එක්කිරීම සඳහා එම අවස්ථාවට හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික පූජකවරුන්ද පැමිණ සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ නව ආඥාපතිතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පලාලි රණවිරු ස්මාරකය අභියසදී පැවති උත්සවයට සහභාගි වු නව ආඥාපතිතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරමින් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කළහ. එම උත්සවයට ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ.

ඉන් අනතුරුව, නව ආඥාපතිතුමන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූවේය.

නව ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර ආඥාපති ධුරය හෙබවිය.

මෙම අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති, 51, 52 හා 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ.