Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2021 16:21:37 Hours

"ඔබේ ප්‍රතිඵලය ඔබ වෙනුවෙන් වැය කරන සෑම ශතයක්ම සාධාරණීකරණය කළ යුතුයි", නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය ‘යුධ හමුදා යුධ විද්‍යාලය’ බවට පරිවර්ථනය කිරිමේ සමාරම්භක උත්සව අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරීන් දැනුවත් කරයි

ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂක ක්‍රමවේදයන්ට අනුකූල වීමට සහ ආරක්‍ෂාව හා ආරක්‍ෂක උපායමාර්ග පිළිබඳ මනා දැනුමකින් සමන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බිහිකිරීම වෙනුවෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිච්ඡේදයට නව පිටුවක් එක් කරමින් බුත්තල ප්‍රදේශයේ පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය 2021 දෙසැම්බර් මස 17 වන සිකුරාදා දින සිට ‘යුධ හමුදා යුධ විද්‍යාලය’ ලෙස වැඩිදියුණු කරනු ලැබීය.

ලෝකයේ ප්‍රචලිත ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි උසස් තීක්‍ෂණ බුද්ධියකින් හෙබි සහ ගැටළු නිරාකරණය කරන්නන් බිහිකිරීමේ අභිප්‍රායෙන් මෙම නව යුධ විද්‍යාලය ස්ථාපිත කරනු ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ සංකල්පය හඳුන්වාදෙමින් එම සංකල්පය යථාර්තයක් බවට පත් කිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරනු ලබන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (17) දින උදෑසන යුධ හමුදා යුධ විද්‍යාලය විවෘත කිරිමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගී වූහ.

එම පරිශ්‍රය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive- pass) ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව නව යුධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායකගේ ආරාධනයෙන් එම අවස්ථාවට සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරි උපායමාර්ගික සැලස්මට සහ යුධ ක්‍රමෝපායන්ට අනුව නවතමයෙන් ස්ථාපිත කරනු ලැබු 'Think Factory' යුධ හමුදා යුධ විද්‍යාලය නාමපුවරුව සහිත සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරන ලදී.

අනතුරුව, සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීම, යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ නව යුධ හමුදා යුධ විද්‍යාලය පිළිබද කෙටි වීඩීයෝ පටයක් ඉදිරිපත් කිරිමෙන් පසුව මෙතෙක් ක්‍රියාත්මක වූ නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ආරම්භය පිළිබද හා උසස් තත්ත්වයේ වෘත්තීය හමුදා අධ්‍යාපනය සහ පර්යේෂණ පැවැත්වීම සඳහා නවතමයෙන් ස්ථාපිත කරන ලද යුධ හමුදා යුධ විද්‍යාලයේ නව දැක්ම ඉදිරිපත් කරන ලදී.

නව යුධ හමුදා යුධ විද්‍යාලයේ 'දැක්ම සහ මෙහෙවර' ඉදිරිපත් කිරිමෙන් අනතුරුව යුධ හමුදා යුධ විද්‍යාලයේ නිල වෙබ් අඩවිය (https://alt.army.lk/awc/) විවෘත කරන ලෙස ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආරාධනා කරන ලදී. එහිදි පිළිගැනීමේ දේශනය යුධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ස්වර්ණ බෝතොට විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් ශිෂ්‍ය නිලධාරීන් අමතා සඳහන් කර සිටියේ 2021 වසරේ යුධ හමුදා යුධ විද්‍යාලය ස්ථාපිත කිරීම තුළින් නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය උසස් මට්ටමකට පරිවර්ථනය වූ බැවින්, යුධ හමුදා යුධ විද්‍යාලයේ පරිණාමයේ සහ වර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් වූ බවයි. තවද නව යුධ හමුදා යුධ විද්‍යාලය ස්ථාපිත කිරීම තුළින් නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ කීර්තිනාමයට කිසිදු වෙනසක් නොවන බවත් මේ තුළින් වර්තමාන ආරක්‍ෂක සන්දර්භය තුළ හමුදාව විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳ අපේක්ෂාවන් ඉහළ නැංවෙන බවයි. ඇත්ත වශයෙන්ම එයින් ඇඟවෙන්නේ හමුදාව, රට සහ ලෝකය විසින් ඉල්ලා සිටින පරිදි පුළුල් පරාසයක වගකීම් ඉටුකිරීමට අවශ්‍ය දැනුම, ධාරිතාව සහ නිපුණතාවය ඇති අනාගත හමුදා නායකයින් බිහි කිරීමට විද්‍යාලය දැන් සූදානම් බවද එහිදි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිලධාරීන් අමතා කියා සිටියේය.

පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නිලධාරීන් අතර හමුදා වෘත්තීමයභාවය නංවාලීම වෙනුවෙන් නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව (UCC) සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාවේ (JCC) ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය නිලධාරීන් තිදෙනාට සහ එම පාඨමාලා හැදෑරූ විදේශීය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට ඇගයීම් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

අනතුරුව, යුධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක විසින් මෙම අවස්ථාවට සහභාගී වීම වෙනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කළේය. පසුව මෙම සංචාරය සිහිවනු වස් සමූහ ඡායාරූපවලට පෙනී සිටිමට, පැළයක් සිටුවීමට සහ යුධ හමුදා යුධ විද්‍යාලයේ සමරු සටහන් පොතේ සමරු සටහනක් තැබීමට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කරන ලදී.

එසේම, විද්‍යාල පරිශ්‍රයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් ව පැවති අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරී නිවස්නය ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කරන ලදී. පසුව යුධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් එහි අභ්‍යන්තරය නිරීක්ෂණය කළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදා යුධ විද්‍යාලයේ සිදුකළ පළමු සංචාරය මෙය වන අතර එහිදි අතීත යුධ අත්දැකීම් සහ වර්තමාන ජාතිය ගොඩනැගීමේ වගකීම් ආදිය පිළිබඳව ශිෂ්‍ය නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ හිටපු සේනාවිධායකවරුන් වන මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), මේජර් ජෙනරල් ජයනාත් ජයවීර, එවකට නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යයන හා ජාත්‍යන්තර ප්‍රමිතීන්හි නව තලයකට ඔසවා තැබීමට මූලිකත්වය ගෙන කටයුතු කළ විශ්‍රාමික සහ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් විශේෂඥයින් සහ උපදේශකයින් පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සහභාගී වූහ.

2012 ජනවාරි මස 23 වන දින සිට මෙම අධ්‍යාපන ආයතනය තුළින් මිත්‍රශීලී විදේශ රටවල ශිෂ්‍ය නිලධාරීන් 44 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව ශිෂ්‍ය නිලධාරීන් 2148 දෙනෙකු වෘත්තීය සුදුසුකම් ලත් නිලධාරීන් ලෙස උපාධි ලබා ඇත. තවද ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් අංශයේ වෘත්තීය නිපුණත්වය පිළිබද ආචාර ධර්ම සහ යුද්ධ හමුදාවේ අවශ්‍යතාවයන් සපුරාලීමට නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය සමත් වී ඇත.

තවද, මෙම කීර්තිමත් ආයතනය, සිය මෙහෙවර සහ උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ නායකත්වය, කළමනාකරණ සහ මහජන සම්බන්ධතා ගුණාංග ඉහළ නංවාලීමට කටයුතු කර ඇති අතර පරිවර්තනය කරන ලද නව යුධ හමුදා යුධ විද්‍යාලය නවීන සන්දර්භය තුළ වෙනස්වන උපායමාර්ගික සැලැස්ම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරනු ඇත.