Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2021 18:20:04 Hours

පොතුවිල් රෝහලේ හිඟවෙමින් පැවති ලේ සංචිත පිරවීම සඳහා 242 වන බලසේනාවේ භටපිරිස්හී සහය

පොතුවිල් මූලික රෝහලේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා 242 වන බලසේනා මූලස්ථානය පසුගිය ඉරිදා (12) දින ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර ඒ සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනා මූලස්ථානයේ නිලධාරින් 5 දෙනෙකු සහ සෙසුනිලයින් 74 දෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කළහ.

242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස් ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා පොතුවිල් මූලික රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සහභාගී වූහ. මෙම ලේ දන්දීමේ වැඩසටහනේදි රැස්කළ ලේ සංචිතයන්ගෙන් කොටසක් අම්පාර ලේ බැංකුවේ ගබඩා කිරීමට නියමිත බැව් වැඩසටහන අවසානයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය පැවසූහ.

මෙම වැඩසටහන සඳහා 24 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින්, 242 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් ද එක්වූහ.