Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2021 19:45:27 Hours

ගෝතමීගම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් නව නිවසක්

කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිෂාන් ගුණසේකර මහතා සහ වෛද්‍ය දිනූෂන් වන්නිආරච්චි මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ජී.කේ.එම්. ගයාන් පුෂ්පකුමාර මහතා සහ සිය පවුලේ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය පිළිබඳ 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර ගේ අවධානයට යොමුවීමෙන් අනතුරුව එම බලසේනාව යටතේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අනුග්‍රාහක භවතුන්ගේ මූල්‍යමය දායකත්වය සමඟින් නව නිවස ඉදිකිරීමට අවැසි පියවර ගනු ලැබූහ.

මෙම නව නිවස නිවාසලාභියා වෙත පවරාදීමේ උත්සවය පසුගිය සිකුරාදා (03) දින පැවැති අතර එම අවස්ථාවට සහභාගී වූ පරිත්‍යාගශීලි වෛද්‍ය දිනූෂන් වන්නිආරච්චි මහතා, 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි එක්ව නිවාසලාභියා වෙත නව නිවසේ යතුරු භාරදුන්හ.

ආරක්‍ෂක හමුදාවන් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ කටයුතු 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලෙකුඹුර විසින් සිදුකළහ.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පැවැති මෙම නිවස විවෘත කිරීමේ උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියාත්මක කෙරිණි.