13th December 2021 17:47:39 Hours
පලාලි ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අංග සම්පූර්ණ පුහුණු අංශය සහ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ නව භෝජනාගාරය ඉකුත් සිකුරාදා (10) දින පැවති උත්සවයකදී විවෘත කර භටපිරිස්වල ප්‍රයෝජනය සඳහා පවරාදෙන ලදී.
නව භෝජනාගාරය සහ අංග සම්පූර්ණ පුහුණු අංශය විවෘත කිරීම සඳහා 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.ඒ.ඩී.ඩබ්ලිව් හෙට්ටිආරච්චි ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් සහභාගී වූවේය.
පුද්ගලයින් 60 දෙනෙකු සඳහා එකවර අසුන් ගැනීමේ හැකියාව පවතින නව පුහුණු අංශය නවීනතම ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විත වන අතර ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය පුහුණු අංශයෙන් පසු යාපනය අර්ධද්වීපයේ භටපිරිස් සඳහා ඇති විශාලතම ශ්‍රවණාගාරය ද මෙය වේ.
එසේම, 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ නවතමයෙන් ඉදිකළ බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නය සියලු පහසුකම් වලින් සමන්විත වේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළේය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා සමග 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්.ඒ.ඩී.ඩබ්ලිව් හෙට්ටිආරච්චි එක්ව එතුමන් මහත් හරසරින් යුතුව පිළිගත්තේය.
ඉන් පසුව, ප්‍රධාන ආරාධිත අමුත්තා 3 වන ශ්‍රී ලංකා සංඥා බලකා පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරමින් රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සංඥා බලකා වීරෝදාර රණවිරුවන් වෙත සිය ගෞරවාචාරය පුදකළේය. පසුව එතුමන්ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි දෙක විවෘත කරන ලදී.
ඉන් අනතුරුව මේජර් ජෙනරල් අශෝක පීරිස් එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර පසුව භටපිරිස් ඇමතූ හෙතෙම මුහුද, ගොඩබිම, ගුවනින් හැර යුද ක්‍ෂේත්‍රයේ 5 වැනි විෂයපථය ලෙස දැනට සැලකෙන සයිබර් තාක්‍ෂණය ඉගෙනීමේ වැදගත්කම පිළිබද කරුණු අවධාරණය කළේය.
මෙම උත්සවය පවතින කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව පවත්වන ලදී.