Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 10:57:57 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ‘වර්ණ රාත්‍රිය’ අති උත්කර්ෂවත් අයුරින් නෙලුම් පොකුණ රඟහලේදී

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යන් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ‘වර්ණ රාත්‍රිය’ ඉකුත් ඉරිදා (12) දින නෙලුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ගේ ආරාධනයකට අනුව මෙම වර්ණ රාත්‍රියට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව පසුගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් බිහිකළ අතර මෙම උත්සවයේදී සේවයේ නියුතු සහ විශ්‍රාමික එම ක්‍රීඩකයින් ඇගයුමට ලක් කරමින් ඔවුන්ට සමරු තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය උණුසුම් අයුරින් පිළිගත්තේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශාමිණි කොටුවේගොඩ මැතිණිය විසින් මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය මල් කළඹක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගත්තාය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම මැතිණිය උඩරට වෙස් නර්තන ශිල්පින්ගේ නර්තන මධ්‍යයේ ප්‍රධාන ශාලාව වෙත කැටුව යන ලදී.

සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා උත්සව කටයුතු ආරම්භ කර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් පිළිගැනීමේ දේශනය සිදුකිරීමෙන් අනතුරුව මෙම උත්සවයේ සමාරම්භය සිදුවිය.

යුද්ධ හමුදා, ආරක්‍ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව්වලදී විශිෂ්ට දක්‍ෂතා දැක්වු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් 248 දෙනෙකුට (සේවය කරන සහ විශ්‍රාම ගිය) දක්‍ෂතා අගය කරමින් මෙහිදි රෙජිමේන්තු සහ යුද්ධ හමුදා වර්ණ ප්‍රදානය කෙරිණි. මෙම වර්ණ රාත්‍රිය සංස්කෘතික නර්ත අංගයන්, සංගීතමය වැඩසටහන් සහ සිත් ඇදගන්නාසුළු සංදර්ශනවලින් වර්ණවත් විය.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමින් විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ක්‍රීඩකයින් ඇගයුමට ලක් කරමින් ඔවුන් වෙත වර්ණ ප්‍රදානය කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්වු අතර එහිදි එතුමන් මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් ක්‍රීඩාවේ වැදගත්කම සිහිපත් කළ අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ලබාගත් ජයග්‍රහණයන් වෙනුවෙන් සියලුදෙනාට සුභපැතුම් ද එක් කළේය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරුතිළිණයක් ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දක්‍ෂතා දැක්වු ක්‍රීඩකයින්ට වර්ණ ප්‍රදානය කිරීම සඳහා හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වුහ.