Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2021 18:39:12 Hours

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හැදැරු විදේශීය නිලධාරින් ඇතුළු තවත් නිලධාරින් 146 දෙනෙකුට උපාධි ප්‍රදානය කෙරේ

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 15 (passed staff college) සාර්ථකව හැදැරු විදේශීය නිලධාරින් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින්ට උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් සිකුරාදා (10) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

එහිදි, යුද්ධ හමුදා නිලධාරින් 76 දෙනෙකු, නාවික හමුදා නිලධාරින් 25 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරින් 26 දෙනෙකු සමගින් බංගලාදේශ නිලධාරින් තිදෙනෙකු, නේපාල නිලධාරි දෙදෙනෙකු, පකිස්තාන නිලධාරින් තිදෙනෙකු, සෞදි අරාබි නිලධාරින් 4 දෙනෙකු සහ ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, රවන්ඩා, සෙනගාලය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල නිලධාරින් ඇතුළු නිලධාරින් 146 දෙනෙකු වෙත උපාධි ප්‍රදානය කෙරිණි.

උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගි විය. තවද, එම අවස්ථාවට ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සහ කළමණාකාර මණ්ඩලයේ සාමාජිකයින්ගේ ආරාධනයකට අනුව රාජ්‍යතාන්ත්‍රික දුත මණ්ඩ‍ල ප්‍රධානීන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක), කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, අරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ හිටපු සේනාවිධායකවරු හා නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වූහ.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්‍රදානය කරනු ලබන ආරක්‍ෂක අධ්‍යයන ක්ෂේත්‍රයේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යයන ආයතනයක් වන සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ අණ හා මාණ්ඩලික අංශයන් දෙකෙහිම වෘත්තීය දැනුම හා අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලදී. ලොව පුරා බොහෝ සන්නද්ධ හමුදාවන්හී ක්‍රියාත්මක වන සියලුම හමුදා මූලධර්ම සහ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අධ්‍යයන කටයුතු මෙහිදි සිදුකරනු ලැබේ.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් නිශාන්ත හේරත් විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලදී.

මෙවර මාණ්ඩලික පාඨමාලාව 2021 ජනවාරි මස 11 දින ආරම්භ වී 2021 දෙසැම්බර් මස 10 දින අවසන් විය. සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උපාධි ප්‍රදානොත්සවය සඳහා උපාධිධාරී නිලධාරින්ගේ භාර්යාවන්, දෙමාපියන් සහ ඥාති හිතමිත්‍රාදීන් පිරිසක් සහභාගි වූහ.

උපාධි ප්‍රදානයෙන් අනතුරුව පැවති විශේෂ සම්මාන ප්‍රදානය කිරිමේ අවස්ථාවට ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් නිශාන්ත හේරත් එක්වූහ.

මෙම උත්සවයේදී පහත සඳහන් නිලධාරීන්ට විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී:

මේජර් කේ.ටී. වතුදොර (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)

මේජර් ඒ.බී.එස්.යු. අබේසේකර (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)

ලුතිනන් කමාන්ඩර් එස්.එච්.ඩි.එස්. ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව)

ලුතිනන් කමාන්ඩර් කේ.කේ.සී. උදයංග (ශ්‍රී ලංකා නාවික හමුදාව)

වින් කමාන්ඩර් කේ.එම්.ඩි.බි. කනකරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

වින් කමාන්ඩර් අපේක්‍ෂි මිශ්රා (ඉන්දියාව)

රන් පන්හිඳ

මෙම පාඨමාලාවේ හොඳම අණදෙන නිලධාරී පර්යේෂණ පත්‍රිකාව වෙනුවෙන් හිමි සම්මානය වින් කමාන්ඩර් එච්.කේ.වයි.යු. සෝමවංශ ( ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් හිමිකරගත්හ.

ගෝල්ඩන් අවුල් සම්මානය

සෑම අංශයකින්ම පළමු ස්ථානය ලබාගත් කැපී පෙනෙන දේශීය හා විදේශීය නිලධාරීන්ට පහත සඳහන් පරිදි ගෝල්ඩන් අවුල් සම්මානය ප්‍රදානය කරන ලදී.

විදේශිය නිලධාරි - මේජර් අබුබකර් මුර්ටාසා බුටාර් (පකිස්තාන)

ශ්‍රී ලංකා ශිෂ්‍ය නිලධාරි - මේජර් කේ.ටි. වතුදොර (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)

ලුතිනන් කමාන්ඩර් එස්.එච්.ඩි.එස්. ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව)

වින් කමාන්ඩර් කේ.එම්.ඩි.බි. කනකරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

වින් කමාන්ඩර් අපේක්‍ෂි මිශ්රා (ඉන්දියාව)