Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2021 10:30:33 Hours

මුලතිව් ප්‍රදේශයේ මාර්ග, කොවිල් හා රෝහල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්

මුලතිව් සිට විශ්වමඩු දක්වා දිවෙන මාර්ගය දෙපස සහ කනෙයිනගර් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ලබාදුන් උපදෙස් මත දෙසැම්බර් මස 4 සහ 5 යන දිනයන් හිදී දියත් කරන ලදී.

සිවිල් ජනතාව සහ ආරක්‍ෂක අංශ සාමාජිකයින් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම ශ්‍රමදාන වැඩසටහන 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල් ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.

6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්, නිලධාරින් සමඟ එක්ව මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව සිදුකරන ලදී.

මේ අතර, ඔඩ්ඩුසුඩාන් රෝහලේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 64 වන සේනාංක මූලස්ථානයේ මුලිකත්වයෙන් ඒ යටතේ ස්ථාපිත 641 වන බලසේනාවේ භටපිරිස් විසින් ඔඩ්ඩුසුඩාන් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන ඉකුත් සඳුදා (06) දින දියත් කරන ලදී.

64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් ඉකුත් බදාදා (01) දින ඔඩ්ඩුසුඩාන් රෝහලට පැමිණි අවස්ථාවේ අපවිත්‍ර වූ රෝහල් පරිශ්‍රය පිරිසිදු කරදෙන මෙන් රෝහල් බලධාරින් විසින් සේනාංකාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.

ඒ අනුව, 641 වන බලසේනාව යටතේ ස්ථාපිත සියලුම ඒකක අණදෙන නිලධාරීන්ගේ උපදෙස් මත මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාවට නැංවිණි. රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.