Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2021 12:00:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල පහසුකම් සංකීර්ණය විවෘත කෙරේ

දියතලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ පැවැති දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් අභිනවයෙන් ඉදිකල පහසුකම් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පසුගියදා අවසන් කරන ලදී. මෙලෙස ඉදිකල පහසුකම් සංකීර්ණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තවත් ආරාධිතයින් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය ඉරිදා (05) දින පැවති උත්සවයකදී විවෘත කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‍‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව ඉදිකරනු ලැබූ ‘Six in One Mall’ නම් මෙම බහුකාර්ය සුභසාධන ගොඩනැගිලි සංකීර්ණය ආපනශාලාවක්, ලිපිද්‍රව්‍ය වෙළඳසැලක්, රූපලාවන්‍යාගාරයක්, මැහුම්හලක් සහ රෙදි සෝදන කාමරයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ. මෙම පහසුකම් සංකීර්ණය ඉංජිනේරු බලකායේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය උපයෝගි කරගනිමින් ඉදිකරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කෙරිණි. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.ඒ කීර්තිනාත් විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් විකුම් ලියනගේ උණුසුම් අයුරින් පිළිගත්හ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල ‘Six in One Mall’ බහුකාර්ය පහසුකම් සංකීර්ණය විවෘත කරන ලදී.

ඉන් පසුව මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම පුහුණු පාසල් පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නියෝජ්‍ය සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් කිහිපදෙනෙක් එක්වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් පුහුණු පාසල් පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ පුහුණු පාසල් පරිශ්‍රයේ සිදුකළ සංචාරය අතරතුරදී, එහි පුහුණු කටයුතුවල ප්‍රමිතීන් මෙන්ම පුහුණු පාසල් පරිශ්‍රයේ යටිතල පහසුකම්වල සංවර්ධන කටයුතු සහ අනෙකුත් පහසුකම් පිළිබඳව සොයාබැලීය. තවද, පුහුණු පාසල් පරිශ්‍රයේ සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද එතුමන් දැනුවත් විය.

ඉන් අනතුරුව, එතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්මේ’ පස්වන පරිච්ඡේදයේ සඳහන් පරිදි සංවර්ධනය විය යුතු ක්ෂේත්‍රයන් සහ පුහුණු කටයුතු පිලිබඳව අදහස් හුවමාරු කරගත්හ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට එක්වූ මේජර් ජෙනරල් විකුම් ලියනගේ ආරාධිත නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක්වූහ.

මෙම උත්සවය අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා එම පුහුණු පාසලේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ ප්‍රධාන ආරාධිත අමුත්තා එම පුහුණු පාසලේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව කටයුතු කළයුතු ආකාරය පිළිබඳ පැහැදිළි කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ කාර්ය මණ්ඩලය වෙත ආශිර්වාද එක්කරමින් පසුගිය සඳුදා (06) දින දානමය පිංකමක් ද පැවැත්විණි. මෙම සියලුම කටයුතු කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකෙරිණි.‍