Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2021 18:40:14 Hours

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

“ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ 21 වන සියවසයේ අපේ රට සංවර්ධනය වීමෙහිලා අත්‍යවශ්‍ය සාධක අතර නොගැලපීමක් ඇත. විශේෂයෙන්ම, මා නිරන්තරයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තු වන්නේ එබැවින්” යැයි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් පැවසීය.

‘විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුවත්, ඔවුන් සියලුදෙනා අවම වශයෙන් තොරතුරු තාක්‍ෂණය පිළිබඳ යම් ප්‍රවීණත්වයක් ලබාගෙන උපාධි ලබා තිබිය යුතු බව මා තරයේ විශ්වාස කරමි. නිර්මාණාත්මක චින්තනය, ව්‍යවසායකත්වය සහ ඉංග්‍රීසි භාෂා කුසලතාවය ඇතුළු වර්තමාන ලෝකයේ සාර්ථකත්වයට අවශ්‍ය අනෙකුත් නිපුණතාවන් ඔවුන් සතුවිය යුතුයි.’ මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අතිගරු ජනාධිපතිතුමන් පෙන්වා දුන්නේය.

‘ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් දැනටමත් අපේ විශ්වවිද්‍යාල තුළ පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකර ඇති අතර ලබන වසරේ තවත් ක්‍රමවේදයන් හඳුන්වාදීමට නියමිත බව සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාව පුරා පිහිටි විශ්වවිද්‍යාලවල සිසුන් සංඛ්‍යාව තවත් දස දහසකින් වැඩිකිරීමට හැකිවීම මගේ පරිපාලනයේ මුල්කාලීන ජයග්‍රහණවලින් එකක්.’ යැයි ද අතිගරු ජනාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

‘විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන සිසුන් සංඛ්‍යාව වැඩිවූවත්, ශ්‍රී ලංකාවේ උසස් පෙළ සමත් වුවද විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් සිටියි. මෙයට හේතුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සියලුම සිසුන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමයි. අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා වැඩි වශයෙන් නිර්මාණය කළ යුතුයි. ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට අවශ්‍ය නැත. ලොව ඇති ප්‍රමුඛ පෙළ විශ්වවිද්‍යාල සියල්ලක්ම රාජ්‍ය විශ්වවිද්‍යාල නොවේ. ඒවායින් බොහෝමයක් ස්වාධීන ආයතන, පුණ්‍යායතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත වී ඇත.’ යැයි ද අතිගරු ජනාධිපතිතුමන් සිය දේශනයේදී පෙන්වා දුන්නේය.

“රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පරිබාහිරව පවතින අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන උපාධි විකුණන කඩ ලෙස පැරණි මතවාද සමාජගත කිරීම මිත්‍යාවක්” යැයිද අතිගරු ජනාධිපතිතුමන් මෙහිදි සඳහන් කළේය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 32 වන උපාධි ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් මෙසේ පැවැත්විණි.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී, එක් ආචාර්ය උපාධිධාරියෙකු, උපාධි අධ්‍යයන පීඨයේ ශාස්ත්‍රපති උපාධිධාරීන් හා පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් 227 දෙනෙකු සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විවිධ පීඨවල උපාධිධාරීන් 1180 දෙනෙකු ඇතුළු උපාධිධාරීන් 1408 දෙනෙකු වෙත උපාධි ප්‍රදානය කෙරිණි.

මෙම උපාධි ප්‍රදානෝත්සවය අතරතුරදී, දක්‍ෂතා දැක්වු නිලධාරින් වෙනුවෙන් විශේෂ සම්මාන අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් ප්‍රදානය කළ අතර එහිදී, දක්‍ෂතම යුද්ධ හමුදා නිලධාරියා ලෙස කෙඩෙට් නිලධාරි එස්.එච්. රොද්‍රිගේ, දක්‍ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස ලුතිතන් එස්.ඩි. කරුණාසේන, දක්‍ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරි එස්.කේ.එස්. රුක්ෂාන් විසින් සම්මාන හිමිකරගත්හ. ඊට අමතරව, සෑම අතින්ම දක්‍ෂතම නිලධාරියාට හිමි ගෞරව සම්මානය හිමිකරගැනීමට කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 34 ලුතිනන් එල්.ඩි.අයි. ලියනාරච්චි සමත් විය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා වර්ෂ 1981 දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලදී. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වර්ෂ 2009 දී එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට උසස් කරන ලදී. ඒ අනුව, වර්ෂ 2009 සිට සිවිල් සිසුන්ට ද එහි අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවිණි. වාර්තමානයේදී, ත්‍රිවිධ හමුදා නිලධාරින්ට පමණක් නොව දේශීය හා විදේශීය සිසුන්ට ද ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි සහ පශ්චාත් ඩිප්ලෝමා උපාධි හැදෑරීමට හැකියාව පවතී.

දැනට ලොව පිළිගත් විශ්වවිද්‍යාලයක් වන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකයෙකි.

මෙම උපාධි ප්‍රදානෝත්නයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්, ආරක්‍ෂක ලේකම් හා අනෙකුත් අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් හා අනෙකුත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීව නෙල්සන් මැතිණිය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.