Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2021 05:00:05 Hours

ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි නවදිල්ලි නුවර බලා පිටත්වෙයි

ඉන්දීය පළමු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් (General Bipin Rawat) සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් (Mrs Madhulika Rawat) මැතිණිය ඇතුළු තවත් පුද්ගලයින් 11 දෙනෙකු පසුගිය බදාදා (08) දින ගමන් ගත් හෙලිකොප්ටර් යානය හදිසි අනතුරකට ලක්විය. එම අනතුරෙන් අභාවප්‍රාප්ත ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (10) දින නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.  

මෙම හදිසි අනතුර පිළිබඳ සැලවු වහාම ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සහ මාධ්‍ය වෙත විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් එතුමන්ගේ ශෝකය ප්‍රකාශ කර සිටියේය. (මුල් පිටුව බලන්න)

“ඔහු සතුව තිබූ හමුදා දැනුම, අණදීම, නායකත්ව ගුණාංග, දූරදර්ශී මෙහෙවර සහ සුහදශීලීව රාජකාරි ඉටුකිරීම වැනි ගුණාංගයන් පිළිබඳ නැවත සඳහන් කිරීමට අවශ්‍ය නැත. වෘත්තීමය ක්ෂේත්‍රයේ නව යුගයක් ආරම්භ කිරීමටත්, ගෝලීය සහ කලාපීය වශයෙන් පැනනගින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ඔහු යටතේ සේවයේ නියුතු භටපිරිස් ධෛර්යමත් කිරීමටත් එතුමන් කටයුතු කළ බව” ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සැබෑ මිතුරෙකු හා හමුදා නායකයෙකු වන අභාවප්‍රාප්ත ඉන්දිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත ගෞරව පුදකරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන් වේ.

අභාවප්‍රාප්ත ජෙනරල් බිපින් රාවට් ගේ සහ මධුලිකා රාවට් මැතිණියගේ දේහයන් කම්රාජ් මර්ග් (Kamraj Marg) ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට නවදිල්ලි නුවර හමුදා කඳවුර වෙත රැගෙන ඒමෙන් අනතුරුව නවදිල්ලි හමුදා කඳවුරේ බ්‍රාර් චතුරස්‍රයේ (Brar Square) පිහිටි ආදාහනාගාරයේදී දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

ඉන්දීය පළමු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් මැතිණිය ඇතුළු හමුදා නිලධාරින් කිහිපදෙනෙකු වෙලිංග්ටන් ප්‍රදේශයේ පිහිටි ඉන්දිය ආරක්‍ෂක සේනා මාණ්ඩලික විද්‍යාලයේ පසුගිය බදාදා (08) මධ්‍යහනේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා හෙලිකොප්ටර් යානයකින් ගමන් කරමින් සිටියදී තමිල්නාඩු ප්‍රාන්තයේ නිල්ගිරි දිස්ත්‍රික්කයේ කූනූර් ප්‍රදේශයට ආසන්නයේදී මෙම හදිසි අනතුර සිදුවී ඇත.  

ජෙනරල් බිපින් රාවට් සහ මධුලිකා රාවට් මැතිණියගේ දේහයන් සිකුරාදා (10) දින පෙරවරු 11.00 ට සිය නිවසෙන් රැගෙන යනු ලබන අතර ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්වලින් සමන්විත හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍යය කටයුතු පස්වරු 02.00 ට ධවුලා ක්වාන් (Dhaula Quan) පිහිටි බ්‍රාර් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්, ආරක්‍ෂක අමාත්‍ය රාජ්නාත් සිං මැතිතුමන්, ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල්, තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමති එම්.කේ. ස්ටාලින්, යුද්ධ, නාවික හා ගුවන් හමුදා ප්‍රධානීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු තවත් බොහෝ පිරිසක් අභාවප්‍රාප්ත ජෙනරල් බිපින් රාවට් සහ මධුලිකා රාවට් මහත්මියගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගි වීමට නියමිතව ඇත.  

මෙම අනතුරෙන් හමුදා නිලධාරින් ඇතුළු 11 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති අතර අනතුරෙන් දිවිගලවාගත් එක් පුද්ගලයෙකු අසාද්‍ය තත්ත්වයේ පසුවේ.