09th December 2021 13:00:31 Hours
“ඉන්දීය පළමු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවට් ගේ හදිසි වියෝව සැලවීමත් සමඟ මා ඉතාමත් සංවේගයට හා කණගාටුවට පත්වූ අතර ශ්‍රී ලංකා රජයේ සහ ත්‍රිවිධ හමුදාවේ දිගුකාලීන සැබෑ මිතුරෙකු වූ එතුමන් ඉන්දීය යුද්ධ හමුදාධිපති ලෙස ධූරයේ රාජකාරි කළ කාලසීමාවේ වර්ෂ 2018 මැයි මාසයේදී දින හතරක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර එම සංචාරයේදී යුද්ධ හමුදා සංඥා විද්‍යාගාරයක් විවෘත කළ එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් සඳහා විශේෂ පුහුණුවීම් හඳුන්වා දෙමින් දෙරට හමුදාවන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේය. ‘හමුදාවෙන් හමුදාවට’ සහයෝගීතාවයට අදාළ නව ක්ෂේත්‍ර ගවේෂණය කළ බවද කෘතඥතාපූර්වකව සිහිපත් කෙරේ.” තමිල්නාඩුවේ නිල්ගිරි දිස්ත්‍රික්කයේ කුනූර් ප්‍රදේශය හරහා බදාදා (8) දින පස්වරුවේ හෙලිකොප්ටර්යකින් ගමන් කරමින් සිටි ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් (General Bipin Rawat) සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් (Mrs Madhulika Rawat) මහත්මිය ඇතුළු පිරිස ගුවන් අනතුරකින් අභාවප්‍රාප්ත වීම නිමිත්තෙන්” ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
“මා යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු ජෙනරාල් බිපින් රාවට් මා සමඟ නිබඳවම දුරකථනයෙන් සම්බන්ධ වෙමින්, ඔහු ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ලෙස රාජකාරි කරන කාලසීමාවේදී ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් විසිරයාමේ උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ලෙසද ආරාධනා කළ අතර කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමඟ එම සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූ බවත් සඳහන් කළේය. එසේම බුද්ධගයාව සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් පහසුකම් ලබා දීමෙන් ශ්‍රී ලංකා සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ‘වන්දනා’ ව්‍යාපෘතියක් දියත් කිරීමට මූලික වූයේද ජෙනරල් බිපින් රාවට් බවත්” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කෘතඥතාපූර්වකව සඳහන් කළේය.
ඔහු සතුව තිබූ හමුදා දැනුම, අණදීම, නායකත්ව ගුණාංග, දූරදර්ශී මෙහෙවර සහ සුහදශීලීව රාජකාරි සිදුකිරීම වැනි ගුණාංගයන් පිළිබඳ නැවත සඳහන් කිරීමට අවශ්‍ය නැත. වෘත්තීමය ක්ෂේත්‍රයේ නව යුගයක් ආරම්භ කිරීමටත්, ගෝලීය සහ කලාපීය වශයෙන් පැනනගින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ඔහු යටතේ සේවයේ නියුතු භටපිරිස් උද්යෝගිමත් කිරීමටත් එතුමන් කටයුතු කළේය.
ප්‍රථම ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ඉන්දීය හමුදා ඉතිහාසයේ නොමැකෙන මතකයන් එක් කළ ජෙනරල් බිපින් රාවට් හමුදා ප්‍රවීණයෙකු ලෙස ඉන්දියාවේ සහ අසල්වාසී රාජ්‍යයන්හී ජාතික ආරක්‍ෂාව සහ සාමය තහවුරු කිරීම උදෙසා අඛණ්ඩ කැපවීමක් සිදුකළේය.
මෙම ශෝකාකූල අවස්ථාවේදී, අභාවයට පත් ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් මහත්මිය ඇතුළු පිරිස වෙනුවෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති වශයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්හී සියළු නිලයින්ගේ ශෝකය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. අභාවයට පත් ජෙනරාල් බිපින් රාවට් සහ මධුලිකා රාවට් මහත්මිය ඇතුළු මෙම ඛේදවාචකයට මුහුණ පෑ ඉන්දීය හමුදා රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!” (අවසන්)