07th December 2021 12:38:36 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කළ මේජර් ජෙනරල් විකුම් ලියනගේ අද (07) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවි නව ධූරයේ පත්වීම් ලිපිය භාරගත්තේය.
යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවැති මෙම සුහද හමුව අතරතුරදී, නව මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්වීම පිළිබඳ මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත සිය සුබපැතුම් එක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් දේශීය හා විදේශිය සියලුදෙනාගේ පැසසුමට ලක් වන විශාල ශ්‍රම බලකායකින් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීමය නිපුණත්වය වැඩිදියුණු කිරීම සඳහා සිය වගකීම උපරිමයෙන් ඉටු කරන ලෙස මෙහිදි පැවසීය.
“මෙම ගෞරවනීය සංවිධානයේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස ඔබ දිවයින පුරා සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට රැකවරණය ලබාදෙමින් යුද්ධ හමුදාවේ යහපත උදෙසා කටයුතු කරනු ඇතැයි මම අපේක්ෂා කරමි. මුළු ලෝකයම කොරෝනා වසංගතයකට ගොදුරු වී ඇති මොහොතක අප කෙරෙහි උපරිම විශ්වාසය තබමින් දැවැන්ත කාර්යභාරයක් අපට භාර දී ඇත. යුද්ධ හමුදාව ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ කාර්යභාරයන් රැසක් ඉටුකර ඇති අතර කාබනික පොහොර නිෂ්පාදනය, කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම, සුභසාධන ව්‍යාපෘති, නිවාස ඉදිකිරීම්, වියලි සලාක පාර්සල් බෙදාදීම් යනාදී කටයුතුවල ඉතා උනන්දුවෙන් යුතුව නියැලී සිටීයි. එමගින්, යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය නිසැකවම ප්‍රවර්ධනය කරනු ඇත” යැයි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත පැවසීය.
“ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස ඔබ සිදුකල කාර්යභාර්ය නව පත්වීම සඳහා අත්දැකීමක් ලබාදෙනු ඇත,” යැයි ද යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන මේජර් ජෙනරල් විකුම් ලියනගේ නව මාණ්ඩලික ප්‍රධානි ධුරය සඳහා තෝරාපත් කරගැනීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මෙහිදි සිය ස්තූතිය පුද කළ අතර සිය ධුර කාලය තුළදී යුද්ධ හමුදාවේ අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කරන බවද පැවසීය.