Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2021 07:10:05 Hours

විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ පැසසුමට

35 වසරකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන මාණ්ඩලික ප්‍රධානි සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් බ්‍රහස්පතින්දා (02) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.

මෙම සුහද හමුවේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතීතාවර්ජනය කරමින් යුද්ධ හමුදා දිවියේ අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරන ලදී. එමෙන්ම, මානුෂිය මෙහෙයුම් කාලසීමාව සහ වසර ගණනාවක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයන්ට ලක්ව සිටි ලක්වාසී ජනතාවගේ යහපත උදෙසා සිදුකරනු ලැබූ ප්‍රජා මූලික ක්‍රියාකාරකම් පිළිබඳව ද මෙහිදී සිහිපත් කරන ලදී.

තවදුරටත් අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනට සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ තිබූ ප්‍රදේශයන් අත්පත් කරගැනීම වෙනුවෙන් මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා දැක්වූ නිර්භිත දායකත්වය මෙම අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළේය. එමෙන්ම, ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සහ ඊට ප්‍රථම සිය රෙජිමේන්තුවේ ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකළ අඛණ්ඩ කැපකිරීම ද මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක්කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 25 වන ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා රාජකාරි හොබවමින් සිටින කාලසීමාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත අතිගරු ජනාධිපතිතුමා විසින් 2021 ජුලි මස 17 දින එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කරනු ලැබීය.

මෙම සුහද හමුවේදී, වසර 35 කට අධික ආදර්ශමත් සහ කැපවූ සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විමසා බැලුවේය. එමෙන්ම, කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානුෂීය මෙහෙයුමේදී රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම උදෙසා මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සිදුකරනු ලැබූ කැපකිරීම පසුපස එතුමන් නන් අයුරින් දිරිගැන්වීමට කටයුතු කළ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.

“ජාතිය වෙනුවෙන් ඔබ සිදුකළ අඛණ්ඩ සේවය යුද්ධ හමුදාවේ අනෙකුත් නිලධාරීන්ට ආදර්ශයක් වන අතර සෑම අවස්ථාවකදීම ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම්ව සිටි පාබල හමුදා නිලධාරියෙකු ලෙස ඔබ ආදර්ශමත් නිලධාරියෙකු වන බව මාගේ විශ්වාසයයි. යුද්ධ හමුදාවේ සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කීර්ති නාමය ආරක්‍ෂා කිරීම සඳහා සෑම විටම ඔබ වෙත ලද උපදෙස් ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ මා හට සිහිපත් වන බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම හමුවේදී ප්‍රකාශ කරන ලදී.

ඊට ප්‍රතිචාර වශයෙන්, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සිය අදහස් දක්වමින් පසුගිය වසර 2 තුල තම වෘත්තීය ජීවිතය තුළ දී ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම සහ උපදෙස් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාවේ ඉදිරි ගමන වෙනුවෙන් සුභපැතුම් එක්කළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලද දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුද කළේය.

මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින්, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ සේවය ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් තවත් තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයේ රාජකාරි භාරගැනීමට පෙර යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හෙබවූවේය. එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධුරයේ මාස 7 කට අධික කාලයක් පුරාවට සේවය කරන සමයේදී එම අර්ධද්වීපයේ ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය හා සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මහඟු කාර්යභාරයක නිරත විය.

එමෙන්ම, නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ව්‍යාපෘති දියත් කිරීම ඇතුළු ප්‍රජා මූලික ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් යාපනය අර්ධද්වීපයේ සිවිල් ජනතාවගේ සුභසාධන කටයුතු වෙනුවෙන් ද එතුමන් මූලිකත්වය ගෙන කටයුතු කළේය.

මීට අමතරව, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 51 වන සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති, 513 වන සහ 144 වන බලසේනාවල බලසේනාධිපති, ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සෞඛ්‍යාරක්‍ෂාව හා ආරක්‍ෂාව පිළිබඳ වගකිවයුතු නිලධාරි ඇතුළු තවත් ප්‍රධාන ධූරයන් රැසක් හොබවන ලදී. තවද, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක ධූරය ද හොබවා ඇත.

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා වන්නි ප්‍රදේශයේ පැවති සාමය සඳහා වූ මානුෂීය මෙහෙයුමේ අවසානය දක්වාම සක්‍රීයව සිය දායකත්වය දැක්වීය. එතුමන් 593 වන සහ 631 වන බලසේනාවන්හී බලසේනාධිපති ධූරයන් හොබවන කාලයේදී සිය භටපිරිස් මෙහෙයවමින් මාන්කුලම් නගරය, ඕලුමඩු, අම්පකාමම් සහ උදයාර්කට්ටුකුලම් ප්‍රදේශවල පිහිටි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බලකොටු අත්පත් කරගැනීමට සහ එල්.ටී.ටී.ඊ සබ්මැරීන් සංකීර්ණය විනාශ කිරීමට ද සමත්විය. 2009 මැයි මාසයේදී මානුෂීය මෙහෙයුම සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව එතුමන් 533 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි භාරගත්තේය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ, වැඩි වශයෙන් සේවය කර ඇත්තේ සටන් පැවති තර්ජනාත්මක ප්‍රදේශවලය. එම ප්‍රදේශයන්හී 5 වන ගැමුණු හේවා බළඇණියේ ඛණ්ඩ භාර නිලධාරියකු ලෙස වඩමාරච්චි මෙහෙයුමට සක්‍රීය දායක වූ හෙතෙම පසුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිය රාජකාරීන් සිදුකළේය. කුරිරු ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය ආරක්‍ෂා කිරීම සඳහා දියත් කළ ‘බලවේගය’ සහ ‘අකුණුපහර’ මෙහෙයුම් වලදී එතුමන් විශාල කාර්යභාර්යක් ඉටු කරන ලදී.

තවද, 7 වන ගැමුණු හේවා බළඇණියේ ඛණ්ඩ භාර නිලධාරියෙකු ලෙස මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ මුහුදු කොටි කඳවුර අත්පත් කරගැනීම සඳහා සිදු කරන ලද ප්‍රථම ගුවන් සංක්‍රමික මෙහෙයුම සඳහා සක්‍රීය දායකත්වය දක්වන ලදී. යුද පිටියේ ප්‍රවීණයෙකු වන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යාපනය නගරය මුදාගැනීම සඳහා දියත් කළ ‘රිවිරැස’ මෙහෙයුමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2000 වසරේ 9 වන ගැමුණු හේවා බළඇණියේ දෙවන අණදෙන නිලධාරි ලෙස පත්වීම් දරමින් අලිමංකඩ ප්‍රදේශයේ මුදාගැනීම සඳහා දියත්කළ මෙහෙයුම සඳහා සුවිශාල දායකත්වයක් දක්වන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2007 වර්ෂයේදී තොප්පිගල මුදාගැනීම සඳහා කමාන්ඩෝ බලසේනාව යටතේ 7 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී වශයෙන් සක්‍රිය කාර්යභාර්යක් ඉටු කළේය. තවද, එතුමන්ගේ අණදීම යටතේ එම බලඇණිය එල්ටීටීඊ බලකොටු රැසක් අත්පත් කර ගැනීම සඳහා 593 වන බලසේනාව වෙත අඛණ්ඩව සහය දුන් අතර ත්‍රස්තවාදී පස් බැමි රැසක් කඩා බිඳ දමමින් මුලතිව් ප්‍රදේශය අත්පත් කරගැනීම සඳහා ද සක්‍රීයව දායකත්වය දක්වන ලදී.

දෙස් විදෙස් හමුදා පාඨමාලා ගණනාවක් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මනා යුද දැනුමකින් පරිපූර්ණ වන අතර එතුමන් හදාරා ඇති පාඨමාලා අතර, ඉන්දියාව - මෝව් පාබල පුහුණු පාසලෙන් කනිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව, ඉන්දියාවේ - විරිගේට් ප්‍රතිකැරලි සහ කැලෑබද සටන් පුහුණු පාසලෙන් කැරලි මර්ධන සහ කැලෑබද සටන් පාඨමාලාව, ඉන්දියාව - මෝව් යුද විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට එරෙහි ආරක්‍ෂක ප්‍රතිචාර පාඨමාලාව සහ චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාය මාර්ගික පුහුණු පාඨමාලාව හදාරා ඇත.

තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි චීනයේ උපායමාර්ගික කළමනාකරණය සහ යුද විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) වෙතින් ජාත්‍යන්තර සබඳතා පිළිබද ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර වරාය සහ සමුද්‍ර සංග්‍රහය පිළිබඳ සහතික පත්‍ර ඩිප්ලෝමා පාඨමාලාව, එක්සත් ජනපදයේ ආරක්‍ෂක අධ්‍යයනය සඳහා ආසියා පැසිෆික් මධ්‍යස්ථානයෙන් පවත්වනු ලබන ත්‍රස්තවාදයට එරෙහි ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ උපාධිය, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විධායක ඩිප්ලෝමාව යන පාඨමාලාවන් සාර්ථකව හදාරා ඇත.

කොළඹ 05, ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වර්ෂ 1986 ජුනි මස 2 වන දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 24 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත එක් විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයෙන් මූලික පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු, පාකිස්ථානයේ මංගලා, නිලධාරි පුහුණු පාසල (OTS) තුළින් නිලධාරි පුහුණු පාඨමාලාව සහ පකිස්තානයේ ක්වෙටා පාබල හා උපක්‍රම පුහුණු පාසලෙන් නිලධාරි අවි සහ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව හැදෑරීම සඳහා ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තෝරා ගන්නා ලදී. වර්ෂ 1987 මැයි මස 18 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 4 වන ගැමුණු හේවා බලඇණිය වෙත අනුයුක්ත කරන ලදී.