Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2021 14:00:44 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව සමඟ සිංහ සමාජය එක්ව පැළ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත කොස්ගම පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේ පසුගිය සිකුරාදා (03) දින රුක් රෝපණ වැඩසටහනක් සහ පැළ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

306 සී 2 සිංහ සමාජයේ ‘හුස්මක් සිටවමු’ ව්‍යාපෘතියේ 3 වන අදියර යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ගේ සම්බන්ධීකරණය මත පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා අරමුදල් උත්පාදනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූවේය. තවද, මෙම අවස්ථාව සඳහා සිංහ සමාජයේ 306 / ඒ 2 දිස්ත්‍රික් සිංහ සමාජයේ සිංහාධිපති සිංහ බුද්ධික රත්නායක මහතා සහ ස්වාධීන රූපවාහිනී ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි නලින් කුමාර මහතා සහභාගී වූ අතර එහිදී, අල්පෝන්සු අඹ පැළ, කොස් පැළ සහ කුඹුක් පැළ ආදී පැළ වර්ග 1000 ක් පමණ බෙදාදුන්හ.

තවද, අනෙකුත් බලඇණි සඳහා පැළ බෙදාදීම සංකේතවත් කරමින් සිංහ බුද්ධික රත්නායක මහතා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක වෙත තවත් අල්පෝන්සු අඹ පැළයක් පරිත්‍යාග කරන ලදී.

මෙම පැළ බෙදාදීමේ වැඩසටහනට සමගාමීව සිංහ සමාජය වෙතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ ප්‍රයෝජනය සඳහා පරිඝණක, ලිපි ද්‍රව්‍ය ඇතුළු තවත් උපකරණ තොගයක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සිංහ සමාජයේ 306 / ඒ 2 දිස්ත්‍රික් සිංහ සමාජයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල් (පාලන) භඨකාර්ය සම්පාදන කර්නල් නලින්ද්‍ර මහවිතාන විසින් සම්බන්ධීකරණය කරන ලදී.