Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2021 14:31:50 Hours

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් උතුරු ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (2) දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු හමුවූහ.  

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා (HE David Holly), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් ඉයන් කේන් මහතා (Captain Ian Cain), රේගු සහ දේශසීමා ආරක්‍ෂක උපදේශක බ්‍රෙට් සෙහන්ඩර් මහතා (Mr Brett Zehnder), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ තෙවන ලේකම් (දේශපාලන) සහ පර්යේෂණ හා තොරතුරු නිලධාරිනි ලාරා ස්වෙයින්සන් මහත්මිය (Ms Lara Sveinsson) සහ පර්යේෂණ හා තොරතුරු නිලධාරී ත්‍රිවාන් අන්නක්කරගේ මහතා (Mr Trivan Annakkarage) එක්වූහ. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රය වෙත සපැමිණි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් උණුසුම් අයුරින් පිළිගන් ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර පැවති මෙම සුහද හමුවේදී, යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන් හා ආරක්‍ෂක අංශ අතර පවත්නා සහයෝගීතාවය, ප්‍රතිසංධානය හා එම අර්ධද්වීපයේ වෙසෙන ජනතාවගේ අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම හමුවේදී, මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වගකීම් හා වත්මන් කාර්යභාරය මෙන්ම සිවිල් වැසියන් හා ආරක්‍ෂක අංශ අතර සහයෝගිතාවය ප්‍රවර්ධනය කරන ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් ජනතාව අතර සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සිදුකෙරෙන ව්‍යාපෘති පිළිබඳ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත සවිස්තරාත්මකව විස්තර කරන ලදී.

මෙම සුහද හමුව අවසානයේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.