Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2021 14:46:08 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් පානම සහ පොතුවිල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් දෙකකට නව නිවාස

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ‘ඔබට ගෙයක් - රටට හෙටක්’ නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අම්පාර, පානම ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකල නව නිවස ඉකුත් බදාදා (30) දින නිවාසලාභින් වෙත භාරදුන්නේය.

යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීම සඳහා උපරිම සහයෝගය ලබාදෙමින්, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ උපදෙස් මත 242 වන බලසසේනාවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු කේ. මල්එතනා මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව අනුග්‍රාහක භවතුන්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් සිය ශ්‍රමදායකත්වය යොදාගන්මින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කරන ලදී.

මෙලෙස ඉදිකරන ලද නව නිවස නිවාසලාභින් වෙත පවරාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහභාගි විය. නව නිවසේ යතුර නිවාසලාභීන් වෙත ප්‍රදානය කර නව නිවස චාරිත්‍රනුකූලව විවෘත කරන ලදී. ඉන් අනතුරුව, අගමික වතාවත් සිදුකර චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව කිරි ඉතිරවීමක් ද සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, 242 වන බලසේනාවේ බලසේනාධිපති, 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිවාසලාභි පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් සහභාගි වූහ.

එසේම, අම්පාර පොතුවිල් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකල තවත් නව නිවසක් ඉකුත් අඟහරුවාදා (30) දින ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ සුරතින් විවෘත කෙරිණි.

පොතුවිල් ප්‍රදේශයේ පදිංචි එම්.අයි. සිත්ති ෆාතිමා මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් අත්විඳින දුෂ්කරතාවය එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස්වල අවධානයට යොමුවීමෙන් අනතුරුව 24 වන සේනාංකයට අයත් 224 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ‘ඔබට ගෙයක් - රටට හෙටක්’ නිවාස ව්‍යාපෘතිය වෙතින් අමුද්‍රව්‍ය සඳහා ලබාදුන් ප්‍රතිපාදන මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබූහ.

මෙලෙස ඉදිකරන ලද නව නිවස නිවාසලාභින් වෙත භාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහභාගි විය. නව නිවසේ යතුර නිවාසලාභීන් වෙත ප්‍රදානය කර නව නිවස චාරිත්‍රනුකූලව විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, 242 වන බලසේනාවේ බලසේනාධිපති, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිවාසලාභි පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් සහභාගි වූහ.