Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2021 22:30:39 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉදිකිරීමට යෝජිත කාර්යාල සංකීර්ණයට මුල්ගල් තබයි

ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව කාර්යාල සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාව සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් කඳවුරු මුරයේ (drive-pass) ගෞරවාචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න සමඟින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍යාමාල් සිල්වා සහ කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා රෙජිමේන්තු පරිශ්‍රය වෙත උණුසුම් අයුරින් පිළිගත්හ.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නව කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබුවේය. සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

මුල්ගල් තැබීමට පෙර මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් ඉදිකිරීමට යෝජිත ගොඩනැගිලි සංකීර්ණයේ දළ සටහනක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වීය. පසුව, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා මෙවැනි අවශ්‍යතාවයන්හී වැදගත්කම පිළිබඳ පැහැදිලි කිරීමක් ද සිදුකළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාවට එතුමන් වෙත ආරාධනා කිරීම සබැඳිව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකරන ලදී. මෙම උත්සවය සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් සහ සෙසුනිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.