Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2021 19:57:37 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාවට සහ සිය රෙජිමේන්තුවට අභිමානයක් හා ගෞරවයක් එක්කළ ගැමුණු හේවා බලකායේ තවත් එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු සිය පවුලේ සාමාජිකයින් පසුගිය බ්‍රහස්පතින්දා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.

යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු සිය පවුලේ සාමාජිකයින් උණුසුම් අයුරින් පිළිගත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහිදි ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවය පැසසුමට ලක් කළේය.

මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු රාජ්‍ය තාන්ත්‍රික තනතුරු හොබවමින් යුද්ධ හමුදාවේ සහ විදේශ රටවලද කැපී පෙනෙන වෘත්තීමය භූමිකාවන් ඉටු කළ බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පැවසීය.

උතුරු - නැගෙනහිර ප්‍රදේශවල සිදුකල මානුෂිය මෙහෙයුම්වලදී ත්‍රස්තවාදීන්ට එරෙහිව එඩිතරව කටයුතු කළ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ විශිෂ්ඨ සේවය සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් මානුෂිය මෙහෙයුම් වලදී මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු දැක්වූ නිර්භිතකම වෙනුවෙන් රණවික්‍රම පදක්කම දෙවරක් හිමිගැන්වීම පිළිබඳව ද එහිදි සිහිපත් කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූ විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දරුවන් අමතමින්, ඔවුන්ගේ පියා මව්බිමේ ඒකීයභාවය හා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා ආදර්ශමත් සේවයක නිරත වූ බව යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී තවදුරටත් පැවසීය.

“ඔබේ පියාගේ වසර 34 කට අධික යුද්ධ හමුදා දිවිය තුළ දැක්වූ පක්‍ෂපාතීත්වය සහ කැපවීම ඔහුගේ සාර්ථකත්වයේ ලක්‍ෂණ වන අතර ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල නිලධාරි (ආරක්‍ෂක) ලෙස ඔහු සිදුකල සේවය සුවිශේෂි වේ. හමුදා අධ්‍යාපනය තුලින් ඇති වූ ගුණාංගයක් වශයෙන් ඉහළම අවංකභාවයෙන් යුත් ඔබේ පියාට පවරනු ලැබූ වගකීම් හා ක්‍රියාකාරකම් පිළිබඳ සිය පාක්‍ෂිකයින් තෘප්තිමත් වියහැකි පරිදි ඉටු කරනු ලැබූ බව” එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

කීර්තිමත් යුද්ධ හමුදා සේවයට සමුදී නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාවේ කෘතවේදීත්වය පුදකරමින් විශේෂ සමරු තිළිණයක් පිරිනැමූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ අනාගත අභිප්‍රායන් හා වෘත්තීමය කටයුතු වෙනුවෙන් සුභපැතුම් පිරිනැමුවේය. රණවිරු සෙවන සේනාවිධායක, 58 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් සිදුකළ සේවය මෙන්ම මේ වනවිට යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් සිදුකරමින් සිටින ගෞරවණීය සේවය පිළිබඳව ද එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

එමෙන්ම, කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානුෂීය මෙහෙයුමේදී රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම උදෙසා මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සිදුකරනු ලැබූ කැපකිරීම පසුපස නන් අයුරින් දිරිගැන්වීමට කටයුතු කළ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ පවුලේ සාමාජිකයින් වෙත ද සමරු තිළිණයක් පිරිනැමුවේය.

මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර 58 වන සේනාකංයේ සේනාංකාධිපති ධූරය හොබවමින් ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා එම සේනාංකයේ ප්‍රජා ව්‍යාපෘතින් රාශියක් දියත් කරන ලදී. එතුමන්, 2021 ජනවාරි මස යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ධූරයේ රාජකාරි භාරගත්තේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය එහිදි පුද කළේය.

වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට ඇතුලත් වූ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු පකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික හමුදා පුහුණුව සාර්ථකව හදාරා වර්ෂ 1987 ජුලි මස 23 දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව විසිරයාමෙන් අනතුරුව 5 වන ගැමුණු හේවා බලකාය වෙත ඇතුලත් කරන ලදි. එතැන් පටන්, යුද්ධ හමුදාව තුළ උපදේශක හා මාණ්ඩලික තනතුරු රැසක් හෙබවු මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නිකැලැල් වෘත්තීමය සේවයක නියැලෙමින් ක්‍රියාකාරී හමුදා සේවයක් ඉටුකරනු ලැබීය.  

වර්ෂ 2017 අගෝස්තු මස 05 දින සිට 2018 පෙබරවාරි මස 28 දින දක්වා එක්සත් රාජධානියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල නිලධාරි (ආරක්‍ෂක) ලෙස සේවය කර ශ්‍රී ලංකාවට පැමිණි මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු චීනයේ පැවැත්වූ බලසේනාධිපති පාඨමාලාව ද හදාරන ලදී. එම පාඨමාලාව සාර්ථකව අවසන් කර මෙරටට පැමිණි මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු 2018 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රණවිරු සෙවන සේනාවිධායක ලෙසත්, 2019 ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක ලෙසත් රාජකාරි කරනු ලැබිණි. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු 2019 ජනවාරි මස 24 දින සිට දෙසැම්බර් මස 18 දින දක්වා යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි හෙබවීය.