Header

Sri Lanka Army

Defender of the Nation

01st December 2021 18:35:57 Hours

තවත් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 12 වන සේනාංකයෙන් නව නිවසක්

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ භටපිරිස් විසින් වීරවිල, නවනගරය ප්‍රදේශයේ පදිංචි කේ.එච්. පියරත්න මහතා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔවුන් වෙත නව නිවසක් ඉදිකරදෙන ලදී.

මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා පිළියන්දල ශ්‍රී නිකේතනාරාම විහාරාධිපති පූජ්‍ය උල්ගල්මොටේ තිලකසිරි හිමිපාණන් ගේ ඉල්ලීමකට අනුව දානපති ඩී. අමරතුංග මහතා විසින් අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වය සපයන ලදී.

මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පිරීස් හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සිදුකළහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, දානපති ඩී. අමරතුංග මහතා, තවත් පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (28) දින පැවති චාම් උත්සවයකදී සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍රයන් සිදුකිරීමෙන් අනතුරුව නිවාසලාභියා වෙත නව නිවස පවරාදෙන ලදී.

මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර සහ 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්.පී. හේමජිත් සමඟින් තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසුනිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.