Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2021 13:50:16 Hours

ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ විසින් රචිත ‘The Conflict that Eluded Peace’ කෘතියේ පිටපතක් යුද්ධ හමුදාධිපති වෙත ප්‍රදානය කරයි

හිටපු ආරක්‍ෂක ලේකම් සහ 17 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) විසින් රචිත ‘The Conflict that Eluded Peace’ කෘතිය පසුගිය දා ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර බදාදා (01) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත එම කෘතියේ පිටපතක් ප්‍රදානය කරන ලදී.

‘The Conflict that Eluded Peace’ නම් විශිෂ්ඨ කෘතිය වසර 30 කට අධික කාලයක් පැවැති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදි ගැටුමේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සැබෑ ශ්‍රී ලාංකීය දූ පුතුන් ලෙස මෙරටින් ත්‍රස්තවාදය තුරන් කර මවුබිම එක්සේසත් කිරීම උදෙසා දැක්වූ නිර්භීතකම ආවර්ජනය කරනු ලබන අමරණීය මතකයන් රැසකින් සමන්විත වේ.

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලය වෙත සපැමිණි ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) උණුසුම් අයුරින් පිළිගත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ‘The Conflict that Eluded Peace’ කෘතියේ අන්තර්ගතය පිළිබඳ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුවේදී, සාමය වෙනුවෙන් දෑස් දල්වාගෙන පෙරමඟ බලා සිටි සියළුම ශ්‍රී ලාංකිකයින් වෙත ජයග්‍රහණය ලබාදුන් මානුෂිය මෙහෙයුමේ තීරණාත්මක අවස්ථා කිහිපයක් පිළිබඳව ද කතෘ සිහිපත් කළේය. ඉන් අනතුරුව, ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) විසින් සිය කෘතියේ පිටපත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රණශූරයෙකු වූ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) විසින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ ක්‍රියාදාමයන් සහ ශ්‍රී ලාංකීය රණවිරුවන් සිය මවුබිමට සාමය උදාකරදීම වෙනුවෙන් සිදුකළ මෙහෙවර පිළිබඳ අන්තර්ගත කරමින් රචිත මෙම කෘතිය ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක් වූ අතර එතුමන් වෙත මෙම කෘතියේ පිටපතක් ප්‍රදානය කිරීම වෙනුවෙන් සිය ස්තූතිය ද කතෘ වෙත පිරිනමනු ලැබීය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සමඟ යුදවැදී ලබාගත් ජයග්‍රහණයන්, එතුලින් උගත් පාඩම් හා සාකච්ඡාමය වශයෙන් දේශපාලනික විසඳුමක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් යුදමය ජයග්‍රහණයක් හිමිකරගැනීම වෙනුවෙන් සිදුකරනු ලැබු මානුෂීය මෙහෙයුම පිළිබඳව මෙම කෘතිය තුලින් අනාවරණය කෙරේ.

හිටපු ආරක්‍ෂක ලේකම් සහ 17 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) 35 වසරකට අධික යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමෙන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය භාරගැනීමට ප්‍රථම බ්‍රසීලයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උසස් රාජ්‍ය තාන්ත්‍රික තනතුරු කිහිපයක් හෙබවූවේය.