01st December 2021 12:27:58 Hours
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැසිපන්දු ශූරතාවලිය - 2021 අවසන් මහා තරඟ නොවැම්බර් මස 28 දින සිට 30 දින දක්වා පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරඟාවලිය අවසානයේ පසුගිය අඟහරුවාදා (30) දින පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වූවේය.
යුද්ධ හමුදා පැසිපන්දු සංචිතය සහ ජාතික පැසිපන්දු සංචිතය සඳහා දක්‍ෂතම ක්‍රීඩකයින් තෝරාගැනීමේ අරමුණින් පැවැති මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 15 ක් නියෝජනය කරමින් පැසිපන්දු කණ්ඩායම් 28 ක් සහභාගී වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු සංචිතය විසින් සංවිධානය කරන ලද මෙවර තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් දිනාගත්හ. තරඟාවලියේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවලින් ශ්‍රී ලංකා සංඥා බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් හිමිකරගත්හ.
අවසන් මහා තරඟයෙන් පසුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවති මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ ස්තූති කථාව පැවැත්වීමෙන් අනතුරුව තරඟාවලියේ සමාප්තිය සනිටුහන් විය.
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැසිපන්දු ශූරතාවලිය - 2021 අවසන් මහා තරඟය නැරඹීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.