Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2021 17:10:40 Hours

6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙන් දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලකට නව නිවසක්

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව ඕස්ට්‍රේලියාවේ පදිංචි නිහාල් උඩුගමසූරිය මහතාගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව තුසිතපුර මයිලවැව ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකෙරිණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 223 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් මෙලෙස ඉදිකරන ලද නව නිවස ඉකුත් ඉරිදා (28) දින නිවාසලාභියා වෙත භාරදෙන ලදී.

මෙම නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ විසින් ලබාදුන් උපදෙස් මත 223 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවීන්ද්‍ර ජයසිංහ සහ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරීගේ සහයෝගය ඇතිව භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකළහ.

පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති චාම් උත්සවයකදී ස්ථිර නිවසක් නොමැතිව දරුවන් සමග දිවිගෙවන ප්‍රදීපිකා ලක්‍ෂාන්තිනී මහත්මිය වෙත නව නිවසේ යතුර ප්‍රදානය කෙරිණි.

නව නිවස විවෘත කිරිමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගී වූ අතර ආගමික වතාවත් මධ්‍යයේ පැවැති එම උත්සවය අතරතුරදී නව නිවස විවෘත කර නිවාසලාභියා වෙත නිවසේ යතුර භාරදීම සිදුකෙරිණි.