Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2021 07:00:45 Hours

‘අභිමංසල’ නේවාසික රණවිරුවන් චෙස් තරඟාවලියකට එක්වෙයි

ආබාධිත රණවිරුවන්ගේ අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතා තරඟාවලිය නොවැම්බර් මස 17 සිට 19 දින දක්වා පාන්ගොල්ල ‘අභිමංසල 3’ පරිශ්‍රයේදී පැවැත්විණි.

එම තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එම්.එම්.ටී.එච්. සේනාරත්න සහ ‘අභිමංසල 3’ හි සේනාවිධායක කර්නල් ඒ.එච්. විජේගුණවර්ධන ගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක සහ බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් සවර්ණ බෝතොට සහභාගී වූවේය. මෙම තරඟාවලිය ඒකල සහ කණ්ඩායම් වශයෙන් පැවැත්විණි.

මෙම තරඟාවලියේ ශුරතාවය වෙනුවෙන් අභිමංසල 2, අභිමංසල 3 සහ රණවිරු සෙවණ - රාගම යන සුවතා නිකේතන නියෝජනය කරමින් රණවිරුවන් 22 දෙනෙකුට වැඩි පිරිසක් තරඟ වැදුනු අතර අභිමංසල 3 විසින් කණ්ඩායම් ශූරතාවය දිනාගත්හ. තරඟාවලියේ දෙවන ස්ථානය රණවිරු සෙවන - රාගම සහ තෙවන ස්ථානය අභිමංසල 2 වෙතින් දිනාගනු ලැබූහ.

තරඟාවලියේ කේවල කාණ්ඩයේ, ක්‍රීඩකයින් 22 දෙනෙකුට එරෙහිව තරඟවදිමින් ප්‍රථම ස්ථානය දිනාගැනීම සඳහා අභිමංසල 3 හි කෝප්‍රල් ආර්.ඩී.ඩී.එස්. දසනායක සමත්වූවේය. එමෙන්ම, කේවල කාණ්ඩයේ දෙවන ස්ථානය සැරයන් ඩී.ජී.එම්. ප්‍රේමලාල් සහ තෙවන ස්ථානය බළලත් නිලධාරි II කේ.ඩබ්ලිව්.ඒ. සමන්ත විසින් දිනාගත්හ.

තරඟාවලියේ ශූරතාවට හිමිකම් කී අභිමංසල 3 හි චෙස් කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා (25) දින පැවති සමාප්ති උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සම්මාන ලබාගත්හ.