29th November 2021 14:50:31 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි මේජර් ජෙනරල් නිලාම් හේරත් ඇතුළු සිය පවුලේ සාමාජිකයින් සඳුදා (29) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් නිලාම් හේරත් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ ප්‍රධාන තනතුරු රැසක් හොඹවන ලදී.
මේජර් ජෙනරල් නිලාම් හේරත් යුද්ධ හමුදා දිවිය තුළ විවිධ තනතුරු දරමින් සිදුකළ විශිෂ්ඨ සේවය මෙම අවස්ථාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැසසුමට ලක් කළේය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ඔබ එම රෙජිමේන්තුවට විශේෂ වටිනාකමක් එක් කරමින් අභියෝගාත්මක කාර්යයන් ගණනාවක් නිසි ආකාරව ඉටු කළ නිලධාරියෙකි. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි යන ධූරයන් හොබවමින් යුද්ධ හමුදාව වෙනුවෙන් කැපවී සේවය කළ ඔබ එම කාළ සීමාව තුළ ඔබගේ පවුලේ සාමාජකයන්ගෙන් බොහෝ විට දුරස්ව සිටින්නට ඇති බව” ප්‍රකාශ කරන ලදී.
තවද, මෙම හමුවේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මේජර් ජෙනරල් නිලාම් හේරත් ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ විමසූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ද සුවදුක් විමසුවේය.
මෙම සුහද හමුවේදී නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලද දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය. අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් නිලාම් හේරත් ගේ සේවය ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.