Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2021 21:56:18 Hours

භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරී පාඨමාලාව හැදෑරු දේශීය සහ විදේශීය උපාධිධාරින් විසිරයති

පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 07 සාර්ථකව හැදෑරු නේපාලයේ සහ බංගලාදේශයේ හමුදා නිලධාරීන් දෙදෙනෙකු, නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු, ගුවන් හමුදා නිලධාරීයෙකු සමගින් නිලධාරීන් 26 දෙනෙකු අද (27) දින ත්‍රීකුණාමලයේ නාවික හමුදා විද්‍යාපීඨයේදී පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී විසිර ගියහ.

උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර, එහිදි එතුමන්ගේ සුරතින් භටකාර්ය සම්පාදන විද්‍යාලයේ උපාධිධාරින් වෙත උපාධි සහතිකපත් සහ ඇගයීම් සහතිකපත් ප්‍රධානය කළේය. එම අවස්ථාව සඳහා ආරධිත අමුත්තන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එම විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරීන් පරිසක්ද එක්වූහ.

භටකාර්ය සම්පාදන විද්‍යාලය වෙත සපැමිණි ප්‍රධාන ආරධිත අමුත්තා වෙත ප්‍රධාන දොරටුව අභියසදී නාවික හමුදා උත්තමාචාරයන් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව ඒතුමන් (Fanfare) නාල වාදන මධ්‍යයේ නාවික හමුදා විද්‍යාපීඨයේ ශ්‍රවණාගාරය වෙත කැටුව යනු ලැබු අතර එහිදි එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, භටකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) සේනාවිධායක බ්‍රිගේඩියර් රන්ජන් ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.

භටකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකතුමන් පිළිගැනීමේ කථාව සිදු කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් උපාධිලාභීන් 26 දෙනා වෙත සංකේතාත්මකව උපාධි සහතිකපත් ප්‍රදානය කළහ.

මෙම උත්සවයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස භටකාර්ය සම්පාදන විද්‍යාලය (ASL) මගින් පිරිනමනු ලබන මෙවර පාඨමාලාවේ ‘හොඳම භ‍ටකාර්ය සම්පාදන සැළසුම්කරු’ සම්මානයෙන් පිදුම් ලැබීමට බංගලාදේශ හමුදාවේ මේජර් එම්.ඩී අරිෆුල් ඉස්ලාම් (Major M.D Ariful Islam) සමත් වූ අතර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් එන්.ඩි.ඊ.එස් සිල්වා භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 07 ‘හොඳම සමස්ථ දක්‍ෂතාවය’ වෙනුවෙන් සම්මාන දිනාගත්තේය.

මෙම අවස්ථාවට සහභාගී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා භටකාර්ය සම්පාදනය පිළිබඳ වෘත්තීය පාඨමාලාව හැදෑරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ලෝකයේ පවතින සෞඛ්‍ය තර්ජන මධ්‍යයේ පාඨමාලාවට සම්බන්ධ වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් විදේශීය උපාධිධාරීන්ට සිය ස්තූතිය සහ සුභ පැතුම් පිරිනැමීය.

පසුව, භටකාර්ය සම්පාදන විද්‍යාලයේ නිල සඟරාව වන ‘ගෝල්ඩන් ලොග්’ (Golden Log) හී මංගල පිටපත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සහ එම අවස්ථාවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පිළිගන්වන ලදී. අනතුරුව වැඩසටහනේ නිමාව සනිටුහන් කරමින් භටකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ පැමිණිම වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරමින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී.

මෙම පාඨමාලාවේ දී උපදේශක යුද්ධ හමුදා නිලධාරින්, රාජය ආයතනයන්හි සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විද්වතුන් විසින් උපාධි අපේක්ෂකයින් හට පොදු මාණ්ඩලික රාජකාරින්, වගකීම් සහ කාර්යභාරයන්, සන්නිවේදන රෙගුලාසි සහ සම්මුතින්, ලිඛිත සහ වාචික නියෝග, පරිපාලන මුලධර්ම, රෙජිමේන්තු මට්ටමේ භටකාර්ය සම්පාදනය, භටකාර්ය සම්පාදන මෙහෙයුම්, භටකාර්ය සම්පාදන නියමයන්, ප්‍රයෝගික වෙනස්වීමේ අවස්ථාවන් සඳහා යොදාගන්නා විවිධ ක්‍රමවේදයන් වැනි විෂය ධාරාවන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදී ඇත.

මීට වසර කිහිපයකට පෙර පනාගොඩ හමුදා කඳවුරේ සහ අනෙකුත් ස්ථානයන්හි පැවැත්වූ භටකාර්ය සම්පාදනය පිළිබඳ සියලු පුහුණු වැඩසටහන් 2011 මැයි මස භටකාර්ය සම්පාදන විද්‍යාලය ස්ථාපිත කිරීමෙන් පසු ඒකාබද්ධ කරන ලදී.

මෙම උපාධි ප්‍රදානෝත්සවයට යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, විද්වතුන් සහ තවත් ආරාධිතයන් රැසක් සහභාගි වූහ.

හමුදාවන් සඳහා දැඩි අවශ්‍යතාවයක්ව පැවති භටකාර්ය සම්පාදන සහ ප්‍රායෝගික භටකාර්ය සම්පාදන සැලසුම් මෙන්ම කළමණාකරන පිළිබද අධ්‍යාපනය ලබාදීම සඳහා 2011 මැයි මාසයේ 9 වන දින යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන විද්‍යාලය ආරම්භ කරන ලදී. භටකාර්ය සම්පාදන විද්‍යාලය ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව භටකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හදාරනු ලබන නිලධාරීන් වෙත භටකාර්ය සම්පාදන කළමණාකරන පස්චාත් ඩිප්ලෝමා පිරිනමනු ලබයි.