Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2021 11:00:45 Hours

භටකාර්ය සම්පාදන විද්‍යාලයේ අභ්‍යාසලාභීන් සඳහා නව නේවාසිකාගාරයක්

ත්‍රිකුණාමලයේ ස්ථාපිත යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන විද්‍යාලය මෙරට විශාලතම ශ්‍රම බලකායේ අත්‍යවශ්‍ය පරිපාලන කාර්යයන් සඳහා පුහුණුව ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක්වන අතර එම විද්‍යාලයේ අභ්‍යාසලාභීන් සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු මහල් නවාතැන් සංකීර්ණය විවෘත කිරිමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ඉකුත් සෙනසුරාදා (27) දින එහි සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා භටකාර්ය සම්පාදන විද්‍යාලය වෙත රතුපලස් මතින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.

භටකාර්ය සම්පාදන විද්‍යාලය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාවෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. ඉන් අනතුරුව භටකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ජයසේකර සහ ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කරන ලෙස එතුමන් වෙත ආරාධනා කළේය.

යුද්ධ හමුදා අරමුදලින්, ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්වල ඉංජිනේරු, තාක්‍ෂණික සහ ශ්‍රමදායකත්වයෙන් ඉතා කෙටි කාලයක් තුළ ඉදිකරනු ලැබු කාමර 20 කින් සමන්විත නේවාසිකාගාරය සුභ මොහොතින් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටියක් කපා විවෘත කරන ලදී.

නේවාසිගාරය විවෘත කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව ගොඩනැගිල්ලේ උඩුමහල නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව භටකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක ඇතුළු නිලධාරීන් සමඟ අභ්‍යාසලාභීන් සඳහා වෙන් කර ඇති කාමර කිහිපයක් ද නිරීක්‍ෂණය කළේය.

භටකාර්ය සම්පාදන විද්‍යාලය වෙතින් භටකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලාව, භටකාර්ය සම්පාදන කනිෂ්ඨ නිලධාරී පාඨමාලාව සහ භටකාර්ය සම්පාදන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී පාඨමාලාව යන පාඨමාලා ත්‍රිත්වය පවත්වනු ලබයි.

මෙම අවස්ථාව සඳහා පවතින කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.