Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2021 18:05:13 Hours

භටපිරිස් සඳහා ෆෙඩ්‍රික්‌ බලකොටුවේ ‘ඇටිපොල නිවාඩු බංගලාව’ විවෘත කෙරේ

ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රිකුණාමලය ෆෙඩ්‍රික් බලකොටුවේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ මනරම් පරිසරයක සුවපහසු කාමර හතරකින් සමන්විතව ඉදිකිරනු ලැබු ‘ඇටිපොල නිවාඩු බංගලාව’ සෙනසුරාදා (27) දින පැවති උත්සවයකදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් විවෘත කර භටපිරිස් වෙත භාරදෙන ලදී.

ෆෙඩ්‍රික්‌කොටුව තුළ හමුදා කඳවුරු, ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස යනාදිය එකල පිහිටා තිබී ඇති බව වාර්තාවේ. වර්තමානයේ සංචාරකයින් නිතර ගැවසෙන ස්ථානයක්ව ඇති ගෝකණ්‌ණ විහාරය, කෝනේෂ්වරම් කෝවිල ෆෙඩ්‍රික්‌කොටුව තුල පිහිටා ඇත. එම මනරම් පරිසරයේ ඉදිකරනු ලැබු මෙම ‘ඇටිපොල නිවාඩු බංගලාව’ 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්වල ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම උපයෝගි කරගනිමින් ඉදිකරන ලදී.

‘ඇටිපොල නිවාඩු බංගලාව’ වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම සහ 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී විසින් උණුසුම් අයුරින් පිළිගෙන නවතමයෙන් ඉදිකළ ‘ඇටිපොල නිවාඩු බංගලාව’ විවෘත කිරිම සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කළේය. එහිදි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ ප්‍රයෝජනය සඳහා ‘ඇටිපොල නිවාඩු බංගලාව’ විවෘත කළේය.

ඉන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිවාඩු බංගලාවේ ඉදිකිරීම් කටයුතු සිදුකළ යුද්ධ හමුදා භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය. පසුව හෙතෙම ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 22 වන සේනාංකයේ සේනාංකාධිපති, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සමඟින් එහි අභ්‍යන්තර පහසුකම් නිරීක්ෂණය කළේය.

වර්ෂ 1624 දි පෘතුගීසීන් විසින් ත්‍රිකුණාමලයේ පළමු වරට බලකොටුවක් ඉදි කරන ලදි. එම බලකොටුව එම ස්ථානයේම පිහිටි ලෝක ප්‍රසිද්ධ හින්දු කෝනේෂ්වරම් කෝවිලේ සුන්බුන් මත ඉදිකරන ලදැයි විශ්වාස කෙරේ. යාපනය අර්ධද්වීපයේ ආක්‍රමණය කළ III වන පිලිප් රජුගේ පෘතුගීසී සේනාව විසින් මෙම පූජා ස්ථානය විනාශ කරන ලදී. ඉන්පසු වර්ෂ 1665 දී ලන්දෙසීන් විසින් නැවතත් මෙම බලකොටුවේ ආරක්ෂාව තර කරමින් වඩාත් ශක්තිමත් අයුරින් මෙම ෆෙඩ්රික් බලකොටුව ගොඩනගන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය, 22 වන සේනාංකයේ සේනාංකාධිපති, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක් වූහ.