Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2021 06:00:00 Hours

රුසියානු බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රවීණයින් යාපනයේ සංචාරයක

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්‍ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණි රුසියානු සන්නද්ධ හමුදාවේ ඉංජිනේරු ප්‍රධානී ලුතිනන් ජෙනරාල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි (Lieutenant General Yuri Mikhailovich Stavitsky) ඇතුළු දූත පිරිස ඉකුත් අඟහරුවාදා (23) යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූහ. එහිදි බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණය කිරීමට ප්‍රථම ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු හමුවී ඒ පිළිබද සාකච්ඡාවක නිරතවූහ.

පසුගිය අඟහරුවාදා (23) දින ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි (Lieutenant General Yuri Mikhailovich Stavitsky), රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා ඉංජිනේරු ප්‍රධානී අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරි කර්නල් ඇලෙක්සැන්ඩර් වියොක්ටෝරොවිච් ස්ක්වෝර්ට්සොව් (Colonel Alexander Vioktorovich Skvortsov), පොන්ටූන් බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඇන්ඩ්‍රි ව්ලැඩිමිරොවිච් (Colonel Andrei Vladimirovich Romanchuk) සහ ඉංජිනේරු හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධානී කර්නල් ඊගෝර් ඉවානොවිච් පවෙල්කෝ (Colonel Igor Ivanovich Pavelko) ඇතුළු දූත පිරිසට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරිමේ ක්‍රියා පිළිවෙත පිළිබද පැහැදිලි කිරිමක් කරන ලදී.

දූත පිරිස පසුගිය බදාදා (24) දින බිම්බෝම්බ ඉවත් කරන ස්ථාන නිරීක්‍ෂණය කිරීමට පෙර යාපනය කොටුව, නල්ලූර් කෝවිල සහ අරාලි තුඩුවේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය නිරීක්‍ෂණය කළේය.

ඉන් අනතුරුව රුසියානු ඉංජිනේරුවන් කඩ්ඩුවාන් ප්‍රදේශයේ යාන්ත්‍රිකව සහ භටපිරිස් විසින් සිදුකරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්‍ෂණ කළේය. පසුව එම පිරිස මුහමාලේ බිම්බෝම්බ ඉවත් කරන ස්ථානය වෙත ගොස් එහි ක්‍රියාකාරකම් ද නිරීක්‍ෂණය කළේය.

සංචාරය නිමාව සනිටුහන් කරමින් රුසියානු දූත පිරිසේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.