Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2021 12:58:00 Hours

චෙස් තරඟාවලියේදී රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන් සහ රෙජිමේන්තුවල චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ චෙස් තරඟාවලියේ සහ අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මෙන්ම යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ ආරාධනයකට අනුව මෙම

තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහභාගි විය.

රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැති චෙස් තරඟාවලිය නොවැම්බර් මස 18 සහ 19 දෙදින පුරා පාන්ගොල්ල අභිමංසල - 3 පරිශ්‍රයේදී පැවැත්විණි. එසේම, අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලිය රෙජිමේන්තු 17 ක චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 22 සහ 23 දෙදින පුරා පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ උණුසුම් අයුරින් පිළිගත්තේය.

තරඟාවලිය අවසානයේ ජයග්‍රාහකයින් වෙත කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීම සඳහා මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත ආරාධනා කෙරිණි. ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරිනැමීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු එක්ව සිටියහ.

මෙවර අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ක්‍රීඩකයින් විසින් හිමිකර ගන්නා ලදී. දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගැනිමට පිළිවෙලින් ශ්‍රී ලංකා පාබල හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ක්‍රීඩකයින් සමත් විය.

මේ අතර, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ චෙස් තරඟාවලියේ ශූරතාවය අභිමංසල 3 වෙත හිමි වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් කුසලාන සහ සහතික පත් ලබාගත්තේය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම තරඟාවලියේ සමාප්ති උත්සවය අතරතුරදී තරඟාවලියට සහභාගි වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

කේවල සහ කණ්ඩායම් යටතේ පවත්වනු ලැබූ මෙම තරගාවලියට රාගම රණවිරු සෙවණ, අත්තිඩිය මිහිඳු සෙත් මැදුර සහ අනුරාධපුර, කඹුරුපිටිය, පාන්ගොල්ලේ ‘අභිමංසල 1, 2, 3’ යන ස්ථානවල ප්‍රතිකාර ලබන සහ පුනරුත්ථාපනය වෙමින් සිටින දෘෂ්‍යාබාධිත සහ ශාරීරික ආබාධ සහිත විරෝදාර රණවිරුවන් සහභාගි වූහ.

සම්මාන ප්‍රදානෝත්සවය අවසානයේදී, මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ තරඟාවලියට සහභාගි වු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභපැතුම් එක් කරමින් ජාතික මට්ටමට පැමිණීම සඳහා ඔවුන්ගේ කුසලතා තවදුරටත් ඉහළ නංවවාගැනීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කළේය.

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ජාතික ගීය සහ යුද්ධ හමුදා චෙස් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කෙරිණි. විනෝදාත්මක විශේෂයන්ගෙන් ද වර්ණවත් වු මෙම උත්සවයේ පිළිගැනීමේ දේශනය යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමුහ ඡායාරූප ගැනීමෙන් අනතුරුව පැවැති ස්තූතියි කථාවත් සමඟ තරඟාවලියේ සමාප්තිය සනිටුහන් විය.

මෙම තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.