Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2021 13:57:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සිදුකරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී ගේ පැසසුමට

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීම සඳහා අවැසි උසස් තාක්‍ෂණික දැනුම සහ මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි (Lieutenant General Yuri Mikhailovich Stavitsky) ප්‍රමුඛ හමුදා නියෝජිත පිරිස අද (25) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

සංචාරයේ නිරත රුසියානු දූත පිරිස පසුගිය බදාදා (24) දින කඩ්ඩුවාන් සහ මුහමාලේ ප්‍රදේශවල සංචාරයක නිරත වෙමින් එම ප්‍රදේශවල ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත්කිරීමේ එ්කකය වෙතින් සිදුකරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කරන ලදී. එහිදී, ඔවුන් විසින් සිදුකරනු ලැබූ නිරීක්‍ෂණයන්ට අදාළව වැඩිදියුණු කරගත යුතු කරුණු පිළිබඳ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි (Lieutenant General Yuri Mikhailovich Stavitsky) විසින් මෙම සුහද හමුවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනුවත් කළේය.

මෙම සුහද හමුවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්විමින් රුසියානු සන්නද්ධ හමුදාවන් ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා දක්වනු ලබන උනන්දුව මෙන්ම දෙරට හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳ රුසියානු හමුදා ඉංජිනේරු භටපිරිස් වෙත සිය කෘතඥතාවය පුදකළේය. එමෙන්ම, දෙරට හමුදාවන් අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද එතුමන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් විසින් බිම්බෝම්බ ඉවත්කිරීමේ කර්තව්‍යයට අමතරව සිදුකරනු ලබන ජාතිය ගොඩනැඟීමේ කාර්යභාරය සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් පිළිබඳව ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් පැහැදිලි කළේය.

පසුගිය කාලවකවානුව තුල සිරියානු රාජ්‍යයේ සහ රුසියානු සමූහාණ්ඩුවේ නාවික හා ගුවන් හමුදාවේ ඉංජිනේරු ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ ප්‍රවීණයෙකු වන, රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානි ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මහත් අභිමානයක් බවද මෙම හමුවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ශ්‍රී ලංකාවේ යාන්ත්‍රිකව සහ යන්ත්‍ර සූත්‍ර භාවිතා නොකරමින් සිදුකරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සියැසින් දැකබලාගැනීමට හැකිවීම පිළිබඳ සතුටුවන බව රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී මෙහිදි ප්‍රකාශ කළේය.

දෙරට හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික සහයෝගිතා වැඩසටහන යටතේ සෑම වසරකම බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා විශේෂ උපකරණ භාවිතා කිරීමට ශ්‍රී ලංකා භටපිරිස් පුහුණු කිරීමටත් රුසියානු ඉංජිනේරු අංශය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ තරඟ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධ කරගැනීමට අපේක්‍ෂා කරන බවත් ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි මෙහිදි වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, පසුගියදා කින්නියා ප්‍රදේශයේ සිදු වූ ඛේදවාචකය වැනි හදිසි සිදුවීම් වලක්වාගැනීම සඳහා රුසියාවේ භාවිතා කරනු ලබන උපකරණ පිළිබඳ හඳුන්වාදී ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන ලෙස ද ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි ගෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී ඉල්ලීමක් කරන ලදී. එමෙන්ම, කොවිඩ් - 19 වෛරසය තුරන් වී නැවත සාමන්‍ය තත්ත්වයට පත්වන තුරු මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ යාන්ත්‍රික හා තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීමේ ඇති වැදගත්කම ද එතුමන් එහිදි අවධාරණය කළේය.

රුසියාව සමඟ පවතින සබඳතාවයන් යලිත් ආවර්ජනය කරමින් 2020 පෙබරවාරි මස රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) ගේ ශ්‍රී ලංකා සංචාරය මෙන්ම එතුමන්ගේ ආරාධනයකට අනුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා රුසියානු සමූහාණ්ඩුවේ සිදුකළ සංචාරය පිළිබඳව ද මෙහිදි සිහිපත් කළේය.

යාන්ත්‍රිකව සහ යන්ත්‍ර සූත්‍ර භාවිතා නොකරමින් බිම්බෝම්බ ඉවත් කිරීම, සුනඛයන් භාවිතයෙන් බිම්බෝම්බ හඳුනාගැනීම සහ අනෙකුත් ක්‍රමවේද භාවිතය ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල සිදු වී ඇති සංවර්ධනය පිළිබඳ ද රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී සිය අදහස් දක්වමින් මෙහිදි පැවසීය. එමෙන්ම, අවධානම් සහගත බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරතව සිටින නිලධාරින් සහ සෙසුනිලයින් වෙත සිය සුබපැතුම් එක්කළ ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි අනාගතයේදී ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන බවට මෙහිදි පැවසීය.

පසුගිය අඟහරුවාදා (23) දින ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි (Lieutenant General Yuri Mikhailovich Stavitsky), රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා ඉංජිනේරු ප්‍රධානී අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරි කර්නල් ඇලෙක්සැන්ඩර් වියොක්ටෝරොවිච් ස්ක්වෝර්ට්සොව් (Colonel Alexander Vioktorovich Skvortsov), පොන්ටූන් බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඇන්ඩ්‍රි ව්ලැඩිමිරොවිච් (Colonel Andrei Vladimirovich Romanchuk) සහ ඉංජිනේරු හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධානී කර්නල් ඊගෝර් ඉවානොවිච් පවෙල්කෝ (Colonel Igor Ivanovich Pavelko) ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර විසින් පිළිගැනීමෙන් අනතුරුව එම දූත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

මෙම සුහද හමුව අවසානයේ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ රුසියානු භාෂා පරිවර්ථක නිලධාරියෙක් ද එක්වූහ.