Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2021 09:00:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරීන් හා යුද්ධ හමුදාධිපති අතර සුහද හමුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව අවසන් කර නුඳුරේදී අධිකාරියට පත්වීමට නියමිත කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 89, 89 B, 90, ස්වේච්ඡා පාඨමාලාවන්වන අංක 60 සහ කාන්තා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 17 ට අයත් කෙඩෙට් නිලධාරීන්, නිලධාරිනියන් සහ සැම්බියා, රවන්ඩා හා මාලදිවයින යන රටවලට අයත් විදේශිය කෙඩෙට් නිලධාරින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (25) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.‍‍

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ අවසන් ඉදිරිපත් කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් කෙඩෙට් නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවන අතර ඒහිදි 'ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයේ නැගී සිටිම සහ දකුණු ආසියා කලාපයේ අන්තවාදයට සහ ත්‍රස්තවාදයට එහි බලපෑම' (‘Rise of Taliban in Afghanistan and its Spillover Effects to South Asia Region’s Extremism and Terrorism’) යන තේමාව යටතේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී. තවද මෙම සාකච්ඡාව අතරතුරදී, ‘කොවිඩ්’ වෛරසය මෙරට පැතීර යාම වැළැක්වීම සඳහාත් ජාතික එන්නත්කරණ වැඩසටහන දියත් කිරීම සඳහාත් යුද්ධ හමුදාවේ දායකත්වය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ ආකාරය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සාකච්ඡා කර ඔවුන් දැනුවත් විය.

මෙම සාකච්ඡාව අතරතුරදී, නායකත්වය, පක්‍ෂපාතීත්වය, කැපවීම සහ රාජකාරි ඉටුකිරීමට ඇති කැපවීම යන මූලික ගුණාංග වර්ධනය කරගනිමින්, වෘත්තීය ජීවිතයේදී පරිපුර්ණ නිලධාරියෙකු ලෙසත් සිවිල් සමාජයේ වැදගත් පුද්ගලයෙකු ලෙසත් ජිවත්වීම සඳහා සංවර්ධනය කරගත යුතු වැදගත් ගුණාංග යුද්ධ හමුදාධිපතිතුමන් පෙන්වාදුන්නේය.‍‍

මෙම සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් හමුදා වෘත්තීය අපේක්‍ෂාවන්හී වැදගත්කම, යුද්ධ හමුදා නිලධාරියෙකු තම වෘත්තීය ජීවිතයේදී සැපිරිය යුතු සියලු අවශ්‍යතා සපුරලීම, විනයගරුක නිලධාරීයෙකු ලෙස සමාජයේ සුවිශේෂී ආදර්ශයන් අගය කිරීම සහ අනුගමනය කිරීමත්, උපාය මාර්ගික චින්තනය, තීරණ ගැනීමේ හා මෙහෙයුම් හැකියාවන්, කොවිඩ් - 19 ව්‍යාප්තියට එරෙහිව ජාතිය ගොඩනැඟීමේ කාර්යභාරය, රජයට ඇති පක්‍ෂපාතිත්වය සහ අවංකභාවය පළ කිරීම මෙන්ම විවිධ වූ අරමුණු සහ කාර්යභාරයන් වෙනුවෙන් යුද්ධ හමුදාව ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ද කෙඩෙට් නිලධාරීන් දැනුවත් කරනු ලැබිණි.

මෙම අවස්ථාවට එක්වු කෙඩෙට් නිලධාරින් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී නුඳුරේදී පැවැත්වීමට නියමිත විසිරයාමේ පෙළපාලියේදී අධිකාරියට පත්ව නිලධාරින් ලෙස විසිරයාමට නියමිතව ඇත.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුවට කෙඩෙට් නිලධාරින් සමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් රුවන් ඇහැලේපොල, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් ප්‍රියදර්ශන ද සිල්වා, පාඨමාලා භාර නිලධාරි මේජර් ඩි. උක්වත්ත සහ කාන්තා පාඨමාලා භාර උපදේශක නිලධාරිනි ලුතිනන් ගංගුලි ධර්මසේන සහභාගි වූහ.