Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2021 17:36:44 Hours

වාද්දූව ශුද්ධෝත්තම දේවස්ථානය ප්‍රතිසංස්කරණයට ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් දායක වෙයි

2020 මැයි මාසයේදී අකුණු සැර වැදීමෙන් හානියට පත් වාද්දූව ශුද්ධෝත්තම දේවස්ථානය යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් (ආචාර්ය) මැල්කම් රංජිත් පියතුමන්ගේ සුරතින් පසුගිය අඟහරුවාදා (23) දින සන්ධ්‍යාවේ විවෘත කරන ලදී.  

එම ක්‍රිස්තියානි දේවස්ථානයේ දේවගැති පියතුමන්ලාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදා මුලස්ථානයේ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මෙන්ම ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.එස්. කුමාර ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 4 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් එම දේවස්ථානය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු සිදුකරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව සිදුකරන ලදී.

එම දේවස්ථානයේ දේවගැති පියතුමන්ලා සහ බැතිමතුන් විසින් ලබාදුන් අමුද්‍රව්‍ය යොදාගනිමින් දේවස්ථානයේ දේවගැති පියතුමන්ලාගේ සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ උපදෙස් හා අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකරන ලදී.  

මෙම උත්සවය අතරතුර, පියතුමන්ලාගේ සහ බැතිමතුන්ගේ සහයෝගය ඇතිව ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් දේවස්ථානය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ලබාදුන් ශ්‍රමදායකත්වය ඇගයීමට ලක් කල අගරදගුරු අතිඋතුම් කාදිනල් (ආචාර්ය) මැල්කම් රංජිත් පියතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර ප්‍රතිසංස්කරණය කරන ලද දේවස්ථාන පරිශ්‍රය විවෘත කරන ලදී. එමෙන්ම, මෙම අවස්ථාව ආමන්ත්‍රණය කළ අගරදගුරු අතිඋතුම් කාදිනල් (ආචාර්ය) මැල්කම් රංජිත් පියතුමන් ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් ඇගයීමට ලක් කළ අතර ඔවුන් වෙත සමරු තිළිණ ද ප්‍රදානය කරන ලදී.

එමෙන්ම, වාද්දුව දේවස්ථානයේ රදගුරු ගරු ගයාන් ප්‍රශාන්ත පියතුමා මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදා භටපිරිස් දැක්වූ දායකත්වය ඉතා වටිනා බවත් ඒ සඳහා සමස්ථ කිතුණු ප්‍රජාවගේ ගෞරවය හා ප්‍රශාදය හිමිවිය යුතු බවත් ප්‍රකාශ කරමින් භටපිරිස් වෙත ප්‍රශංසා කළේය.