Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2021 10:11:13 Hours

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු රුසියානු යුද්ධ හමුදා ඉංජිනේරුවන්ගේ නිරීක්‍ෂණයට

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීමට සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීම සඳහා අවැසි උසස් තාක්‍ෂණික දැනුම සහ මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි (Lieutenant General Yuri Mikhailovich Stavitsky) ප්‍රමුඛ හමුදා නියෝජිත පිරිසක් අද (23) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

සාමාජිකයින් 4 දෙනෙකුගෙන් යුත් රුසියානු දූත පිරිස දින 4 ක කාලසීමාවක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර එම කාල සීමාව තුළ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා යාපනයයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත. එහිදී, ප්‍රථමයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ රුසියානු දූත පිරිස මූලික දැනුවත් කිරීමකින් අනතුරුව ඔවුන් මුහමාලේ සහ කඩ්ඩුවාන් ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත්කිරිමේ මෙහෙයුම්වල නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්වල කාර්යභාර්ය නිරීක්‍ෂණය කිරීමට සැලසුම් කර ඇත.

මෙම සංචාරය සඳහා රුසියානු දූත පිරිසේ ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි (Lieutenant General Yuri Mikhailovich Stavitsky), රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා ඉංජිනේරු ප්‍රධානී අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරි කර්නල් ඇලෙක්සැන්ඩර් වියොක්ටෝරොවිච් ස්ක්වෝර්ට්සොව් (Colonel Alexander Vioktorovich Skvortsov), පොන්ටූන් බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඇන්ඩ්‍රි ව්ලැඩිමිරොවිච් (Colonel Andrei Vladimirovich Romanchuk) සහ ඉංජිනේරු හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධානී කර්නල් ඊගෝර් ඉවානොවිච් පවෙල්කෝ (Colonel Igor Ivanovich Pavelko) ඇතුළු දූත පිරිස සහභාගී වූහ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සපැමිණි රුසියානු දූත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සේනාරත්න ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු දූත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ඉතිහාසය, යාන්ත්‍රිකව සහ යන්ත්‍ර සූත්‍ර භාවිතා නොකරමින් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීම, බිම්බෝම්බ හඳුනාගැනීමේ සුනඛයන් භාවිතය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබාගැනීමෙන් අනතුරුව බිම්බෝම්බ හඳුනාගැනීමේ සුනඛයින්ගේ සංදර්ශනයක් සියැසින් දැකබලාගැනීමට සූදානමින් සිටිති. ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමට ද නියමිතව ඇත.

මෙම රුසියානු දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණය මත සිදුකෙරෙන අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට සහය වීම සඳහා රුසියානු හමුදා ඉංජිනේරු කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණියහ. එහිදි, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමක් රුසියානු සමූහාණ්ඩුවේ ඉංජිනේරුවන් හමුවී ඔවුන් සමඟ සිය අත්දැකීම් බෙදාහදා ගත්හ.

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු යුද්ධ හමුදාව, ‘Hallo Trust’ සහ තවත් ආයතන කිහිපයක් විසින් සිදුකරනු ලබයි. මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 12.88 ක භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් බිම්බෝම්බ ඉවත්කර ඇති අතර, යුද්ධ හමුදා බිම්බෝම්බ ඉවත් කිරිමේ භට කණ්ඩායම් විසින් වර්ග කිලෝමීටර් 1.24 ක භූමි ප්‍රදේශයක් තුළ පුද්ගල නාශක බෝම්බ (APMs), බිම්බෝම්බ සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටිති.

පසුගිය දෙවසර තුළ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු පිළිබඳ අවැසි උපදෙස් ලබාගනිමින් දෙරට අතර ද්වීපාර්ශ්වික මිත්‍රත්වය තහවුරු කරන ලදී. පසුගිය දා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රුසියානු හමුදා භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානීගේ ආරාධනයකට අනුව එරට දින 6 ක සංචාරයක් සිදුකර මෙරටට පැමිණියේය.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.