23rd November 2021 09:11:13 Hours
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් මහතා (Nikolai Patrushev) ඇතුළු රුසියානු නියෝජිත පිරිස පසුගිය සඳුදා (22) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව හිල්ටන් හෝටලයේදී ‘රුසියානු - ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්’ පැවැත්වූහ.
රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ පැවති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුලු පිරිසක් එක්වූහ.
මෙම හමුවේදී, රුසියානු සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවට බඳුන්විය.
මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාව අවසානයේ නිකොලායි පට්රුෂෙව් මහතා (Nikolai Patrushev) සහ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
ජාතික ආරක්‍ෂක කටයුතු පිළිබඳ තීරණ ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයාගේ උපදේශක ආයතනයක් වන රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස වර්ෂ 2008 සිට නිකොලායි පට්රුෂෙව් මහතා (Nikolai Patrushev) කටයුතු කරනු ලබයි.