Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2021 12:00:50 Hours

‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනයේ සම්මාන ප්‍රදානෝත්සවයේ ගෞරවනීය ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

One Galle Face වෙළඳ සංකීර්ණයේ පිහිටි Beira Lake සහ Ocean Avenue හිදී පැවති ‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනයේ සමාප්තිය සනිටුහන් කරමින් පසුගිය ඉරිදා (21) දින පැවති සම්මාන ප්‍රදානෝත්සවයට ගෞරවණිය ආරාධිතයෙකු ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය.

‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනයේ එක් ප්‍රදර්ශන කුටියක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් ‘ලයා’ හෝටල් සමුහය වෙනුවෙන් වෙන්කර තිබූ අතර එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආහාර සැපයුම් බලඇණියට අයත් ප්‍රදර්ශන කුටියේදී නරඹන්නන් වෙත සජීවී ආහාර පිසීමේ තරඟ, කොක්ටේල් සහ මොක්ටේල් තරඟ, කේක් සැරසිලි නිෂ්පාදන තරඟ සහ කේක් මාදිලි තරඟ සඳහා සහභාගී වූ යුද්ධ හමුදා සාමාජිකයින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්විය.

මෙම උත්සවය අතරතුර, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආර්ථික විද්‍යා අංශය වෙතින් දියත් කරනු ලැබූ සංචාරක කර්මාන්තය පිළිබඳ අධ්‍යයන පාඨමාලාව සඳහා පසුගිය වසර 6 පුරාවට සිය මාර්ගෝපදේශයන් ලබාදෙමින් සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික හා සත්කාරක කළමනාකරණ සංගමයේ සාමාජිකයින් වෙතින් හම්බන්තොට, පලටුපාන ප්‍රදේශයේ පිහිටි ‘ලයා’ සෆාරි හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරි බ්‍රිගේඩියර් ලලිත් හේවා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම ප්‍රදර්ශනයේදී, තේ මොක්ටේල් තරඟයේ දක්‍ෂතම තරඟකරු වශයෙන් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සැරයන් එස්.එම්.සී.එස් සමරනායක සම්මාන දිනාගැනීමට සමත්විය.

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීමේ අරමුණින් සතියක් පුරාවට (නොවැම්බර් මස 15 දින සිට 21 දින දක්වා) ‘Way Forward Sri Lanka Tourism: Be Resilient and Sustainable’ තේමාව පෙරදැරිව පැවති ‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනයේ සම්මාන ප්‍රදානෝත්සවයට ගෞරවණිය ආරාධිතයෙකු ලෙස සහභාගී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ජයග්‍රහණයන් ලැබූ තරඟකරුවන් හට සහතිකපත් පිරිනැමුවේය.

විනිමය මුදල් ඉපයීමේ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමුකරමින් පැවැත්වූ ‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනය තුලින් සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා වන අදහස්, ඉදිරි සැලසුම් සහ ප්‍රායෝගික ප්‍රවේශයන් සකසාගැනීමේ අපේක්‍ෂාවෙන් පැවැත්විණි. මෙම ප්‍රදර්ශනය සංචාරක අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමන්ගේ සුරතින් පසුගිය සඳුදා (15) දින විවෘත කළ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ප්‍රදර්ශනය සතියක් පුරාවට පවත්වන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ආරම්භක දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශයේ සම්බන්ධීකාරක හා සංචාරක ආර්ථික හා සත්කාරක කළමනාකරණ සංගමයේ සභාපති මහාචාර්ය සුරංග සිල්වා විසින් සිදුකරන ලදී.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ සංචාරක අධ්‍යයන අංශය ආරම්භ කර ඇති කොළඹ විශ්වවිද්‍යාලය එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක දින සැමරුම් උළෙලට සමගාමීව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.

සංචාරක නියෝජිතයින්, සංචාරක මඟපෙන්වන්නන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින්, හෝටල් සහ නවාතැන් මධ්‍යස්ථාන නිලධාරීන්, සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ ස්ථානවල සාමාජිකයින්, සංචාරක ව්‍යාපාරයේ වෘත්තීය මධ්‍යස්ථානවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව පවත්වනු ලැබූ මෙම ප්‍රදර්ශනය සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රදර්ශන කුටි 60 කින් සමන්විත විය.