Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2021 06:40:58 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සහ 121 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ඉකුත් අඟහරුවාදා (16) දින බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සහ 121 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එම සංචාරය සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ද එක්විය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කල මෙම සංචාරය අතරතුරදී, බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සමගින් නියෝජ්‍ය සේනාවිධායක සහ ප්‍රධාන උපදේශක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත පිරිනැමුවේය.

ඉන් අනතුරුව, සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සාකච්ඡාවකදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020-2025’ ට සමගාමීව නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කෙරිණි.

මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘සඳුන්’ පැළයක් රෝපණය කළ ආරක්‍ෂක සේනා ආඥපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා එම පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබුවේය.

එමෙන්ම, සිය බලප්‍රදේශයේ සංචාරයක නිරත වු ආරක්‍ෂක සේනා ආඥපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ පිහිටි 121 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

121 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති උණුසුම් අයුරින් පිළිගත් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ විසින් සිය කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ ආඥාපතිතුමන් දැනුවත් කරන ලදී. ආඥාපතිතුමන් සිය සංචාරය අතරතුරදී බලසේනාවේ භටපිරිස් වෙත ලබාදී ඇති පහසුකම් පිළිබඳව ද සොයාබැලීය.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සමගින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් එක්ව සිටියහ.