Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2021 15:43:24 Hours

නව අභියෝගයන්ට මුහුණදීම සඳහා ලොව ප්‍රමුඛ පෙලේ පුහුණු පාඨමාලාවක් හැදෑරු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් විසිරයයි

මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය, දේශයේ ස්වෛරිභාවය මෙන්ම ජාතියේ අභිමානය සුරැකීම උදෙසා විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්ව විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක - 51 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරින් 7 දෙනෙකු සහ සෙසුනිලයින් 235 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය අද (21) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වූ විශිෂ්ඨයින්ගේ විසිරයාමේ පෙළපාලියට තවත් වැදගත්කමක් එක් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

විශේෂ බලකා පුහුණු පාසල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ බලකා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ප්‍රසාද් රන්දුණු විසින් මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගත්තේය.

දුෂ්කරවුත්, කටුකවුත්, විශේෂිත වු පුහුණුවක් හදාා දේශයේත්, ජාතියේත් වගකීම් ඉටුකිරීම සඳහා අධීෂ්ඨානයෙන් යුතුව අභීතව අරමුණ කරා යන විශිෂ්ඨයන්ගෙන් සැදුම්ලත් අලංකාරවත් විසිරයාමේ පෙළපාලියේ ගෞරවාචාරය ඉන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිරිනැමුවේය.

පුරා මාස 9 කට අධික කාලයක් පැවැති වෙහෙසකර විශේෂ යුද පුහුණුවකදී, දරාගැනීමේ ශක්තිය, ශාරිරික ශක්තිය, මානසික ශක්තිය, ආත්මවිශ්වාසය හා අධිෂ්ඨානය පෙරදැරිව විශිෂ්ඨයින් ලෙස විශේෂ බලකා පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ සෙබළුන් වෙත පලඳවන විශේෂ බලකා ලාංඡන සරඹ භූමිය වෙත ගුවනින් රැගෙන එන ලදී.

ඉන් පසුව, මෙම විසිරයාමේ පෙළපාලියට ගෞරවයක් එක්කරමින් සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කළ විශිෂ්ඨයින් වෙත විශේෂ බලකා ලාංඡන පැළඳවීම සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සෙනරත් යාපා සහ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් විපුල ඉහලගේ ද එක්වූහ. ඉන් අනතුරුව, විශිෂ්ඨයන් ලෙස විශේෂ බලකායට එක්වු සෙබළුන්ට විශේෂ බලකා ප්‍රතිඥාව ලබාදීම එහිදි සිදුවිය.

ඉන් පසුව, විශිෂ්ඨයන් අතරින් විශිෂ්ඨයින්ට කුසලාන සහ සහතික පත් පිරිනැමීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදුවිය. විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක - 51 හැදෑරු අනෙකුත් සිසුන් අභිබවා යමින් සමස්ථ පාඨමාලාවේ අතිශුර සිසුවාට හිමි කුසලානය ලුතිනන් ඩබ්ලිව්.කේ.වයි. දිණුෂක විසින් හිමිකරගත්තේය. විශිෂ්ඨයන් අතරින් විශිෂ්ඨයෙකු වෙමින් පාඨමාලාවේ දක්‍ෂතම ශාරිරික යෝග්‍යතාවයට හිමි කුසලානය සහ දක්‍ෂතම වෙඩික්කරුට හිමි කුසලානය හිමිකරගැනීමට ලාන්ස් කෝප්‍රල් එච්.ඩබ්ලිව්.අයි.වී. ලක්‍ෂාන් සමත්විය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් විසිරයාමේ පෙළපාලියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තමාට ආරාධනා කිරීම පිළිබඳව විශේෂ බලකායට සිය කෘතඥතාවය පුද කළේය. රට වෙනුවෙන් දිවිපිදු හා රණක්‍ෂිතයට පත් විශේෂ බලකායේ විරෝදාර රණවිරුවන් එහිදි සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සුවිශේෂි හැකියාවන් සහ විශේෂ බලකායේ කීර්තිමත් ගෞරවය සෑමවිටම ආරක්‍ෂා කරගනිමින් මාතෘභූමියේ ස්වෛරිත්වය ආරක්‍ෂා කරගැනීම උදෙසා කැපවන ලෙස විසිරයන විශිෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටියේය.

සිය දේශනය අතරතුරදී විශේෂ බලකායේ ඉතිහාසය පිළිබඳ විස්තර කළ යුද්ධ හමුදාධිපතිතුමන් මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සිදුකළ අසමසම දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාවය ද ඔවුන් වෙත පිරිනැමුය. යුද්ධයෙන් දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් විශේෂ බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ බලකාය වෙත විසිර යන විශිෂ්ඨයන් දායාද කළ දෙමාපියන් ද පැසසුමට ලක් කළේය.

ත්‍රිවිධ හමුදාවේ උන්නතිය වෙනුවෙන් රජය දක්වන සහයෝගය පිළිබඳව ද සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනය අතරතුරදී නිලධාරියෙකු, සෙබළෙකු වශයෙන් විශේෂ බලකායට සම්බන්ධවීමේ ඇති ගෞරවය හා අභිමානය ද සිහිපත් කළේය. යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව විසිරයන විශිෂ්ඨයින්ගෙන් සමන්විත අලංකාරවත් පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

මෙහිදී පැමිණ සිටි සියලුදෙනා විනෝදාස්වාදයට පත් කරමින් තූර්ය වාදන සංදර්ශනයක්, විශේෂ බලකා සෙබළුන් විසින් ඉදිරිපත් කල ගුවන් කරනම් ඇතුලත් පැරෂුට් සංදර්ශනයක්, විශේෂ බලකා කුසලතා ප්‍රදර්ශනය කෙරෙන ටයිකොන්ඩෝ සංදර්ශනයක්, නගරබද සටන්වල ක්‍රියාකාරකම් හා සම්බන්ධ යතුරුපැදි සන්දර්ශනයක් සහ විශේෂ බලකා රණකාමිත්වය විදහාපාමින් නගරබද සටන් හා නිරායුධ සටන් සංදර්ශනයක් සමඟින් විසිරයාමේ උත්සව කටයුතු නිමාවට පත්විය. පසුව, පාඨමාලාව සාර්ථකව අවසන් කල නිලධාරින් සහ සෙබළුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි යුද්ධ හමුදාධිපතිතුමන් විසිර යෑමේ පෙළපාලිය වෙනුවෙන් සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පුහුණු පාසලේ නිලධාරින්, සමභාවනීය ආරාධිතයින් සහ අනෙකුත් නිලධාරින් සමඟින් තේ පැන් සංග්‍රහයකට ද එක්වූහ.

වර්ෂ 1986 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය ආරම්භයේ සිටම ශ්‍රී ලාංකීය ජාතියට සුවිශේෂි සේවාවක් ඉටු කරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරනු ලැබූ සටනේ අවසන් වසර කිහිපය තුළදීත් ඔවුන් දිගු දුර මෙහෙයුම් වැනි සුවිශේෂී උපායශීලි හැකියාවන් තුලින් ත්‍රස්තවාදීන් වඩාත් භීතියට පත්කිරීමට සමත්වූවන් ලෙස පිළිගැනීමට පාත්‍රවිය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් ආරාධිතයින්, විසිරයන විශිෂ්ඨයන්ගේ දෙමාපියන් සහ ඥාති හිතමිත්‍රාදීන් පිරිසක් මෙම විසිරයාමේ පෙළපාලිය දැකබලාගැනීම සඳහා සහභාගි වූහ.