Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2021 16:43:12 Hours

‘සඳහිරු සෑ රඳුන්’ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජා කෙරේ

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීම අරමුණු කරගනිමින් යුද, නාවික හා ගුවන් හමුදා වීරෝදාර සෙබළුන් මෙන්ම පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රමදායකත්වයෙන් රටේ දෙවන උසින් විශාලතම චෛත්‍ය ලෙස අනුරාධපුරයේ ඉදිකළ ‘සඳ හිරු සෑ’ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ ඉල් පුර පසලොස්වක පොහෝ දින (නොවැම්බර් මස 18) අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ගෞරවනීය උත්සවයකදී ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජා කරන ලදී.

එම උත්තරීතර අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ බිරින්දෑවරුන් හා දරු දැරියන්, රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් ඇතුළු සැදැහැවත් බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.   

බුබ්බුලාකාර හැඩයකින් යුත් උස අඩි 282 යි අගල් හයක් වන මෙම චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ වට ප්‍රමාණය අඩි 801 කි. 2009 මැයි මාසයේදී තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කරමින් මෙම දැවැන්ත චෛත්‍යයේ ඉදිකිරිම් කටයුතු, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් එවකට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටිය කාලසීමාව තුළ දී ආරම්භ විය.

‘සඳහිරු සෑ රදුන්’ ඉදිකිරිම සඳහා මුල්ගල තැබූ දින සිට යුද, නාවික, ගුවන් හමුදා මෙන්ම පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහ බැතිමතුන්ගේ නොමසුරු දායකත්වය ඇතිව දිවා රෑ දහදිය වගුරුවමින් ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබු අතර අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) අධීක්‍ෂණය යටතේ සමස්ත ව්‍යාපෘතිය අතිවිශිෂ්ට ලෙස නිමාකර මෙලෙස බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා දැයට දායාද කරන ලදී.

මෙරට බෞද්ධ උරුමයේ පුනර්ජීවනයේ නව යුගයක් සනිටුහන් කරමින් ඉදිකල මෙම චෙත්‍යය රාජ්‍යාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජා කිරීමේ උත්සවයේ සමාරම්භය අතිගරු ජනාධිපතිතුමන්, ජනාධිපති ආර්යාව, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ එම මැතිණියගේ සම්ප්‍රාත්තියෙන් අනතුරුව සනිටුහන් විය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ගුණරත්න මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මැතිණිය, නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් එම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කෙරිණි. ජය පිරිත් සජ්ඣායනා, දේව ආරාධනා, හේවිසි හඬ මධ්‍යයේ ‘සඳහිරු සෑ රඳුන්ගේ’ ඵලකය සහ කොත් වහන්සේ නිරාවරණය කිරිම අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සිදුවිය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මෙම අවස්ථාවට සපැමිණි සම්භාවනීය අමුත්තන්, ප්‍රධාන වාහල්කඩ පිළිමවහන්සේ අභියස හා විහාර මන්දිරයේ දී මල් සහ සුවඳ දුම් පූජා කළහ. ඉන් පසුව ආරක්‍ෂක ලේකම්තුමන්ගේ ආරාධනයෙන් ධාතු කරඬුවේ ආභරණ පැළඳවීම, දොලොස්මහේ පහන ආලෝකමත් කිරීම, ‘සඳහිරි සෑ රඳුන්’ ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙත පූජා කිරීම සහ සෑ රඳුන්ට විදුලි ආලෝක පූජාව අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් සිදු කෙරිණි.

ඉන් අනතුරුව 'දහම් හමුව' ධර්ම දේශණය පවත්වමින් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. පසුව චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු නිම කිරීම සනිටුහන් කිරීමේ ‘සන්නස් පත්‍රය’ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත භාරදීම සිදුවිය. ඉන් පසුව ආරක්‍ෂක ලේකම්තුමන් විසින් ‘සන්නස් පත්‍රය’ අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්විය.

ඉන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් පූජනීය ‘ස්ථූපය’ සහ එම පරිශ්‍රය ‘ශාසනයට’ අභිෂේක කරමින් ගෞරව පූර්වකව ‘සන්නස් පත්‍රය’ මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත ඉමහත් සද්ධාවෙන් යුතුව පූජා කළහ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අභිනවයෙන් ඉදිකරන ලද 'ස්ථූපය' වෙත ප්‍රථම 'ගිලන්පස පූජාව' පැවැත්වීම ජනාධිපති ආර්යාව, ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ආර්යාව, ආරක්‍ෂක ලේකම්තුමන්ගේ භාර්යාව, යුධ, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ස්ථූපයේ ඉදිකිරිම් කටයුතු භාර අණදෙන නිලධාරි කර්නල් කේ.එස්. මෝහන් කුමාර් විසින් සිදුකරන ලදී.

මෙහිදි මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී රතනපාල අනුනාහිමියන් සහ අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම ශ්‍රී නිවාසාභිදාන නාහිමියන් විසින් විශේෂ අනුශාසනා සිදුකිරීමෙන් අනතුරුව අටමස්ථානාධිපති හිමිපාණන් විසින් අනුශාසනාවක් සිදුකරමින් අටමස්ථානය රටවැසියන්ගේ අධ්‍යාත්මික සුවය සඳහා අපගේ අතීත රජවරුන් විසින් මේ ආකාරයෙන් ඉදිකරන්නට ඇති බව සිහිපත් කරමින් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ කැපකිරීම උදෙසා මෙම මහා පුණ්‍ය කර්මයේ වැදගත්කම අවධාරණය කළහ.

බෙදුම්වාදී ත්‍රස්තවාදය මෙරටින් තුරන් කර රට එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ නායකයා වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය (නොවැම්බර් 18) අදට යෙදී ඇති අතර 2010 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මෙම දැවැන්ත ස්තූපයේ නිර්මාතෘ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මෙම පූජෝත්සවය අමතනු ලැබීය.

ඉන් අනතුරුව මහාසංඝරත්නය මෙම පූණ්‍ය කටයුත්ත පැසුමට ලක්කරමින් මෙම චෛත්‍යය රාජ්‍යාණන් වහන්සේ ඉදිකර ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම සඳහා ගත් උත්සාහය අගයනු වස් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් යන දෙපළ වෙත එහිදි සමරු තිළිණ ප්‍රදානය කළහ.

ඉන් පසුව අතිගරු ජනාධිපතිතුමා විසින් යුද, නාවික, ගුවන් හමුදා මෙන්ම පොලිස් සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් විසින් සිදු කරන ලද ඉමහත් කැපවීම අගය කරමින් යුද, නාවික, ගුවන් හමුදා මෙන්ම පොලිස් සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතියේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ කර්නල් කේ. එස්. මෝහන් කුමාර් වෙත සමරු තිළිණයක් සහ ඇගයීම් සහතික පත්‍රයක් එහිදි ප්‍රදානය කරන ලදී.

ඉන් අනතුරුව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ‘ස්ථූපය’ ඉදිකිරීමේ විවිධ අවස්ථා විදහා දැක්වෙන ‘Coffee Table’ ඡායාරූප එකතුවේ මංගල පිටපත අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්වමින් මෙම ඓතිහාසික අවස්ථාවට තවත් ගෞරවයක් සහ වැදගත්කමක් එක් කරන ලදී.

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් සිදුකරන ලද ස්තුති කථාවෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

උත්සවය අවසානයේ මහා සංඝරත්නය සහ අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් චෛත්‍යය රාජ්‍යයන් සහ එම පරිශ්‍රය ආලෝකමත් කිරීම සිදු කෙරිණි.