Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2021 11:40:58 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තියට සමගාමීව සඳහිරු සෑ රඳුන් අභිමුවදී පළමු ‘සාංඝික දානය’ පූජා කෙරේ

අතිගරු ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තියට සමගාමීව සංඝගත දක්‍ෂිණාවක් අභිනවයෙන් ඉදිකර චාරිත්‍රානුකූලව නිරාවරණය කළ ‘සඳහිරු සෑ රදුන්’ අභිමුවදී අද (19) දින මධ්‍යහනේ පැවැත්විණි.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ‘සඳහිරු සෑ රදුන්’ අභිමුවදී පැවැති ආගමික වතාවත් සහ ඝංඝගත දක්‍ෂිණාව පූජා කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විය.

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය, ගරු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා චිත්‍රානි ගුණරත්න මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා සුජීවා නෙල්සන් මැතිණිය, නාවික හමුදාධිපතිතුමන් හා එම මැතිණිය, ගුවන් හමුදාධිපතිතුමන් හා එම මැතිණිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු සැදැහැවත් බෞද්ධ බැතිමතුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම උතුම් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වඥ ධාතු කරඬුව දාන ශාලාව වෙත වැඩම කරන ලදී.

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් සහ ජනාධිපති ආර්යාව ඇතුළු පිරිස බුද්ධ පූජාව පවත්වා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත දානය පූජා කළහ. ඉන් පසුව, වැඩමවා වදාළ මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූලව ‘පැන් වැඩීම’ සහ ‘ගුප්ත අනුමෝදනාව’ සිදුකිරීමෙන් අනතුරුව උත්සව කටයුතු අවසන් විය.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිදාන නායක හිමිපාණන් සහ පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් ප්‍රමුඛ අනුනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේ 150 නමක් විශයෙහිලා පිලිගැන්වු මෙම දානමය පිංකම සඳහා මැති ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් ද සහභාගි වූහ.