Header

Sri Lanka Army

Defender of the Nation

20th November 2021 06:32:57 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තියට ආශිර්වාද එක්කිරීමේ ‘ගිලන්පස සහ ආශීර්වාද පූජාව’ රුවන්වැලි මහා සෑ රඳුන් අභිමුවදී

අතිගරු ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තියට ආශිර්වාද එක්කිරීමේ විශේෂ ‘ගිලන්පස සහ ආශිර්වාද පූජාව’ වැඩමවා වදාළ ත්‍රෛයි නිකායික මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභිමුවදී සිකුරාදා (19) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.  

රුවන්වැලි මහා සෑ රඳුන් අභිමුවට සම්ප්‍රාප්ත වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය, මල් පහන් පූජා කර රුවන්වැලි මහා සෑ රඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගත්හ. අතිගරු ජනාධිපතිතුමන් රුවන්වැලි මහා සෑයේ සතර වාහල් කඩ පහන් දැල්වමින් අලෝකමත් කල අතර ඉන් අනතුරුව විශේෂ ‘කප්රුක් පූජාව’ ආරම්භ කෙරිණි.

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ අනුශාසනාවක් සිදුකරමින් මෙම ආගමික උත්සවයේ වැදගත්කම සිහිපත් කිරීමෙන් අනතුරුව අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක හිමිපාණන් විසින් මෙම උතුම් පූණ්‍යකර්මය සඳහා සහභාගි වු සියලුදෙනා පංචශීලයේ පිහිටවනු ලැබීය.  

ආශිර්වාද එක්කිරීමේ ‘සෙත් පිරිත්’ සඡ්ඣායනා සිදුකිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන්ට සහ එතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තියට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම උතුම් ආගමික උත්සවයට තවත් වැදගත්කමක් එක්කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු සහාකාර විදුහල්පති හා හැව්ලොක් සිටි ‘සාම විහාරයේ’ විහාරාධිපති පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ‘ආශිර්වාද පූජාව’ සිදුකෙරිණි.

වඩමවා වදාළ මල්වතු පාර්ශවයේ අනුනායක ඓතිහාසික වල්ගම්පාය ශ්‍රී අභයරාජ රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක හිමිපාණන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී රතනපාල උපාලි අභිදාන අනුනායක හිමිපාණන්, අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහා නායක හිමිපාණන් සහ අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විසින් මෙම අවස්ථාවේදී විශේෂ අනුශාසනාවන් සිදුකර මෙවැනි උතුම් ආගමික සත්ක්‍රියාවන්හි ඇති වැදගත්කම සිහිපත් කරනු ලැබීය.  

වැඩමවා වදාළ මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කිරීමෙන් අනතුරුව දුටුගැමුණු මහා රජතුමන්ගේ සහ විහාර මහාදේවි බිසවගේ පිළිරුවට පූෂ්පෝපහාර පුදකිරීමත් සමඟ මෙම උතුම් පූණ්‍යකර්මයේ උත්සව කටයුතුවල සමාප්තිය සනිටුහන් විය.

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ගරු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමන්, අමාත්‍යවරුන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා එම මැතිණිය වන චිත්‍රානි ගුණරත්න මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, නාවික හමුදාධිපතිතුමන් හා එම මැතිණිය, ගුවන් හමුදාධිපතිතුමන් හා එම මැතිණිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු සැදැහැවත් බෞද්ධ බැතිමතුන් පිරිසක් ද මෙම ආගමික උත්සවයට එක්ව සිටියහ.