Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2021 18:43:54 Hours

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් “ජාතික ආරක්‍ෂක විද්‍යාලය” දැයට දායාද කෙරේ

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්‍ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ගාලුපාර, කොළඹ 03 පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැගිල්ලේ ස්ථාපිත මෙරට ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය වශයෙන් “ජාතික ආරක්‍ෂක විද්‍යාලය” ස්ථාපනය කරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක, මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) ගේ ආරාධනයට අනුව එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර පසුගිය බ්‍රහස්පතින්දා (11) දින “ජාතික ආරක්‍ෂක විද්‍යාලය” විවෘත කර දැයට දායාද කරන ලදී.

ජාතික ආරක්‍ෂක විද්‍යාලය විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතිගරු ජනාධිපතිතුමන් රාජ්‍ය තාන්ත්‍රිකයින්, ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වද්‍යාලයේ උපකුලපති සහ නව ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක සමඟ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නව ප්‍රධාන ගොඩනැගිල්ල වෙත පැමිණීමෙන් අනතුරුව සමාරම්භක උත්සවය ආරම්භ වූහ.

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූ ප්‍රධාන ආරධිත අමුත්තා ඇතුලු සම්භාවනීය අමුත්තන් ප්‍රධාන ගොඩනැගිල්ලේ අභ්‍යන්තර අධ්‍යයන පහසුකම් නිරීක්‍ෂණය කළහ.

ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්‍ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම “ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ” මෙහෙවර ලෙස සැලකේ. එම අවස්ථාවේදී ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කාර්යභාරය සහ කර්තව්‍යයන් සහ එහි පශ්චාත් උපාධි ප්‍රදානය පිළිබඳ ඉදිරිපත් කිරිමක් ද සිදුකරන ලදී.

වැඩසටහන ආරම්භ වීමට මත්තෙන් දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, ජාතික ගීය ගායනා කිරිම සහ පිළිගැනීමේ කතාව සිදුකරන ලදී.

ජාතික ආරාක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) සිය පිළිගැනීමේ දේශණය සිදුකරමින් සිවිල්-හමුදා සහයෝගීතාවය සඳහා මෙම නව වේදිකාව නිර්මාණය කළ ආකාරය ගෙනහැර දැක්වීය. ජාතික ආරක්‍ෂක ගැටලු සහ උපාය මාර්ගික රාජ්‍ය ශිල්පය ආමන්ත්‍රණය කිරීම සඳහා උපාය මාර්ගික විශ්ලේෂණ සඳහා සියලුම නිලධාරීන්ට මෙමගින් අවස්ථාව උදාවේ. තවද, එහිදී ආරක්‍ෂක සහ රාජ්‍ය නිලධාරීන් සඳහා උපාධි පාඨමාලා පවත්වන අතර විදේශ රටවල ආරක්‍ෂක සේවා නිලධාරීන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

ඉන් අනතුරුව, ජාතක ආරක්‍ෂක විද්‍යාලයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීමට සහ එම අවස්ථාව අමාත්‍රණය කිරීමට ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආරාධනා කරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තාගේ දේශණයෙන් පසු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) විසින් නව ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ගොඩනැගිල්ලේ සිතුවමක් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ප්‍රදානය කරමින් එම අවස්ථාව සංකේතවත් කළේය.

ඉන් අනතුරුව, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ස්තුති කතාව සිදුකළ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබීය.

ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්‍ෂක විද්‍යාලය ආරම්භ කිරීම ආරක්‍ෂක අධ්‍යයන වංශකතාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර ආරක්‍ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට සහ සිවිල් නිලධාරීන් සඳහා ක්‍රමෝපායික අධ්‍යාපන අවස්ථා ලබාගැනීම සඳහා විදේශ අධ්‍යාපන ආයතනවල පවතින අවස්ථා සෙවීම හැර වෙනත් විකල්පයක් නොතිබිණ යුගයක ‘ප්‍රඥාව - සෞභාග්‍යය - ප්‍රත්‍යස්ථිතිය’ යන තේමාව පෙරදැඩිව ජාතික ආරක්‍ෂක විද්‍යාලය ස්ථාපනය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ සහ බංගලාදේශයේ මහ කොමසාරිස්වරුන්, පාකිස්ථානයේ සහකාර මහ කොමසාරිස්, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති, තානාපති කාර්යාල කිහිපයක ආරක්‍ෂක උපදේශකවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සහභාගී වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ (විශ්‍රාමික), ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් කේ.ජේ. අල්විස් (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්වද්‍යාලයේ උපකුලපති සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.