17th November 2021 15:23:49 Hours
රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින්, රටේ දෙවන විශාලතම චෛත්‍ය ලෙස අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑ චෛත්‍ය රාජාණන් වහන්සේ ඉල් පුර පසලොස්වක පොහෝ දින ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය චිරස්තථිය උදෙසා පූජා කිරීමට ප්‍රථම එම ඓතිහාසික උත්සවය පැවැත්වීමට ඇති සූදානම පිළිබඳ සොයාබැලීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සමඟින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් අද (17) දින පෙරවරුවේ සඳහිරු සෑ චෛත්‍ය ඉදිකළ ඓතිහාසික පුදබිමේ සංචාරයක නිරතවූහ.
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද, නාවික හා ගුවන් හමුදා සෙබළුන් මෙන්ම පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිය ගණනකගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ මෙම ඓතිහාසික චෛත්‍යය පූජා කිරීමේ උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ආකාරය පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිස මෙහිදී නිරීක්‍ෂණය කළහ.
අතිගරු ජනාධිපතිතුමන් සමඟින් මෙම සංචාරය සඳහා ජනාධිපති ආර්යාව ද එක්ව සිටියහ.
බෞද්ධ උරුමයේ ඓතිහාසික වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කරමින්, රට වෙනුවෙන් දිවිපිදූ සියලුම විරෝදාර රණවිරුවන් සහ සිවිල් කාර්යමණ්ඩලය සිහිපත් කරමින් ඉදිකරන ලද ඓතිහාසික ‘සඳහිරු සෑය’ චෛත්‍යය එළඹෙන බ්‍රහස්පතින්දා (18) දිනට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජාකිරීමට නියමිතව ඇත.