Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2021 18:35:12 Hours

M2C පාඨමාලාවේ තෙවන අදියර සාර්ථකව නිමාවේ

M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව පාඨමාලාවේ තෙවන අදියර ත්‍රිවිධ හමුදාවේ සේවයේ නිරත සහ විශ්‍රාමික මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රියර් අද්මිරාල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, කොමදෝරු නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එයාර් කොමදෝරු නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 22 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී. එහි සමාප්ති උත්සවය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (14) දින සන්ධ්‍යාවේ ‘වොටර්ස් ඒජ්’ (Water’s Edge) හීදි පැවැත්විණි.

මෙම පාඨමාලාව ACCESS Engineering පුද්ගලික සමාගමේ සභාපති සුමාල් පෙරේරා මහතාගේ අනුග්‍රාහකත්වය මත විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් 2021 මාර්තු මස ආරම්භ කරන ලදී. පාඨමාලාවේ දෙවන අදියර 2021 අගෝස්තු මස ආරම්භ කරන ලද අතර එම පාඨමාලාව ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙනුවෙන් විවෘත වූ පළමු අවස්ථාව බවත් එසේ ආරම්භ කළ පාඨමාලාව ඉමහත් සාර්ථකත්වයක් පෙන්නුම් කළ බවත් ශ්‍රී ලංකාවේ M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව පාඨමාලාව ආරම්භ කිරීමට දායක වූ ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) මෙහිදි පැවසීය.

ත්‍රිවිධ හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පුද්ගලික හෝ රාජ්‍ය ආයතනවලට නායකත්වය දීමට සූදානම් ආයතනික පුරෝගාමීන් බවට පරිවර්තනය කිරීමේ උපායමාර්ගික චින්තනයන්, පුද්ගල කළමනාකරණය සහ රාජකාරි න්‍යායපත්‍ර සකස්කිරීම සහ දැනුම හුවමාරු කරගැනීමේ නවීනතම ක්‍රමවේදයන්ගෙන් මෙම පාඨමාලාව සමන්විත වේ.

ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ මඟපෙන්විම මත මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලන අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් රෝෂාන් බියන්විල, කොමදෝරු විජිත මාරපන සහ M2C හමුදා සම්බන්ධීකරණ නිලධාරි කර්නල් සුජීව රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සහයෝගය ඇතිව මෙම පාඨමාලාව සඳහා නාමයෝජනා කැඳවීම සිදුකරන ලදී.

කීර්තිමත් හමුදා දිවියක් නිමා කරනු ලබන‍මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ කුසලතාවයන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ආයතන සහ රාජ්‍ය ආයතන සඳහා යොදාගැනීමට මෙය කදිම අවස්ථාවක් වන බවත් විශ්‍රාමික නිලධාරින් රටට මිල කල නොහැකි සම්පත් වන බවත් ACCESS Engineering ආයතනයේ සභාපති සුමාල් පෙරේරා මහතා මෙහිදි ප්‍රකාශ කරන ලදී.

ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) යුද්ධ හමුදාධිපති ධූරයේ සිටි කාල වකවානුව තුළ ලොව පිළිගත් මෙම M2C පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළ බවත් අන්තර් මහාද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනයේ ප්‍රධාන උපදේශක රංජීව කුලතුංග මහතා සහ ආචාර්ය දිනේෂ් වටවන මහතා මෙහිදි පැවසීය.

විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම පාඨමාලාව තුලින් ත්‍රිවිධ හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට සිය අත්දැකීම් සහ දැනුම හුවමාරුකරගැනීමට අවස්ථාවක් උදාවන බවත් ව්‍යාපාරික ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධ අනෙකුත් කටයුතු පිළිබඳ අවබෝධයක් ලබාගනිමින් සහභාගිවන නිලධාරින්ට සිය නිපුණතා හඳුනාගැනීමට අවස්ථාවක් උදාවේ.

එ් අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ ගේ අනුග්‍රහකත්වය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මුලිකත්වයෙන් මෙම පාඨමාලාව ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලාවේ තෙවන අදියරේ සමාප්ති උත්සවයට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන් ජයරත්න සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූහ.

Allion Technologies වෙබ් අනුග්‍රාහකයා විසින් නිර්මාණය කරන ලද M2C නිල වෙබ් අඩවිය වන www.mcsrilankacenter.com වෙබ් අඩවිය වෙත ඍජුවම පිවිසීමට ප්‍රවේශය ලබාදෙන අතර එම වෙබ් අඩවිය තුළ පාඨමාලාලාභීන්ගේ ජීව දත්ත තොරතරු ප්‍රදර්ශනය කෙරේ. මීට අමතරව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පාඨමාලාලාභීන් පිළිබඳ තොරතුරු මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබාගනිමින් ඔවුන් රැකියා සඳහා යොමුකරනු ලබයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා සමගින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ, M2C වැඩසටහන ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා ක්‍රියාකාරිව දායක වු ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ACCESS ඉංජිනේරු පුද්ගලික සමාගමේ සමුහ සභාපති සුමල් පෙරේරා මහතා, අන්තර් මහාද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනයේ ප්‍රධාන උපදේශක රංජීව කුලතුංග මහතා, CIMA ශ්‍රී ලංකාවේ කළමනාකරු සහරා අන්සාරි මහත්මිය, ILM.UK කලාපීය ප්‍රචාරක මධ්‍යස්ථානයේ මුෆ්ති හෂීම් මහතා සහ ශ්‍රී ලංකා යුද, නාවික හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන් සහභාගී වූහ.