Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2021 12:25:12 Hours

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ සේවය කරන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ කළමණාකාරිත්වය ඇගයේ

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක රාජකාරි කරනු ලබන 7 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම සිදුකරනු ලබන සේවය ඇගයීමට ලක් කිරීමේ අරමුණින් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ක්ෂේත්‍ර මුලස්ථානයේ විශේෂ කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින එම රෝහල වෙත පැමිණියහ.      

නැගෙනහිර ආඥා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් මෙහෙයවනු ලබන මෙම කණ්ඩායමේ ප්‍රධානි ලෙස නියෝජ්‍ය බලකා වෛද්‍ය නිලධාරී ලුතිනන් කර්නල් ෆාතිමා සෙයින් ඛාන් කටයුතු කරනු ලබයි.

එහිදී, පිළිගැනීමේ දේශනය ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණදෙන නිලධාරි කර්නල් ඩි.ආර්.එස්.ඒ. ජයමාන්න විසින් සිදුකරනු ලැබීය. ඉන් අනතුරුව, බෝර් ප්‍රදේශයේ පිහිටි 2 වන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ පෙන්වාදුන් එම රෝහලේ ප්‍රධාන භඨකාර්ය සම්පාදන නිලධාරි මේජර් ඩි.එල්.පී. කහවත්ත විසින් භඨකාර්ය සම්පාදන කටයුතු පිළිබඳ විස්තර කළහ.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ සිදුකළ මෙම ඇගයීමේදී එම රෝහල් අණදෙන නිලධාරි සහ භඨකාර්ය සම්පාදන නිලධාරි විසින් පෙන්වාදුන් පරිදි එම රෝහලේ බාහිර රෝගී අංශයෙන් දින 60 ක් තුළ රෝගීන් 40 දෙනෙකුට ප්‍රතිකාර සිදුකළ ආකාරය, දින 07 ක් තුළ රෝගීන් 20 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර සිදුකරන ආකාරය සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු සඳහා දැක්වූ දායකත්වය ආදී ක්ෂේත්‍රයන් පිළිබඳ අවධානයට යොමුකරමින් එම රෝහලේ කාර්යභාරය මෙහිදී පැසසුමට ලක් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ රෝගී සත්කාර ක්‍රමවේදයට අනුකූලව සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ රෝගීන්ගේ ආරක්‍ෂාව පිළිබඳ අවධානය යොමුකරමින් සියලුම රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලබන සේවාවන් මෙම කණ්ඩායම විසින් තක්සේරු කරනු ලැබීය. නියෝජ්‍ය බලකා වෛද්‍ය නිලධාරිගේ සෘජු අධීක්‍ෂණය යටතේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක රාජකාරි කරනු ලබන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම රෝගීන් කළමනාකරණය කරනු ලබන ආකාරය ද මෙහිදී ඇගයීමට ලක්කරන ලදී.