15th November 2021 12:22:57 Hours
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරන ලද ලෝක සංග්‍රාමවලින් මියගිය රණවිරුවන් ඇතුළු ලොව පුරා දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ අනුස්මරණ දිනය හෙවත් ලෝක පොපී මල් දින (නොවැම්බර් 11) සැමරුම් උත්සවය පසුගිය ඉරිදා (14) දින උදෑසන කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී විය. එසේම, මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වූ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ (විශ්‍රාමික), කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික), නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, හිටපු හමුදාධිපතිවරුන්, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් ද එක්වූහ.
මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය. මෙම උත්සවයේදී, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුදකරමින් දිවිපිදූ විරෝදාර රණවිරුවන් වෙත සිය උපහාරය පුද කළේය.
මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අනෙකුත් සාමාජිකයින් අතර ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික), ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ උපසභාපති මේජර් ජෙනරල් අඹන්පොල (විශ්‍රාමික), ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික), ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ (විශ්‍රාමික), අනුස්මරණ කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් ඒ. දීපාල් සුභසිංහ (විශ්‍රාමික) සහ සියළු විශ්‍රාමික නිලධාරින් ද වූහ.
විශේෂයෙන් පළමුවන ලෝක යුද්ධයේ සිට යුද සමයේදී සන්නද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් සිදුකළ ජීවිත පරිත්‍යාගයන් අනුස්මරණය කර සැමරීමේ දිනයක් වන මෙම රණවිරු අනුස්මරණ දිනය, පොපි මල් දිනය, සටන් නිමාවේ දිනය හා යුද ප්‍රවීණයන්ගේ දිනය ලෙසද හැඳින්වේ. වර්ෂ 1918 නොවැම්බර් මස 11 දින ලෝක යුද්ධය අවසන් වීම නිමිත්තෙන් නොවැම්බර් මස 11 දින ලෝක පොපිමල් දිනය ලෙස නම්කර ඇත.