15th November 2021 10:52:15 Hours
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ වාර්ෂික ‘කඨින‘ පූජාව මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් ඉකුත් සෙනසුරාදා (13) දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සහ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද ගේ උපදෙස් මත 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් මෙම ‘කඨින’ පිංකම පැවැත්වීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදුන්හ. ‘කඨින චීවරය’ රැගත් පෙරහැර අළුයම විහාරස්ථානය වෙත වැඩම කරවීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට වැඩමවා වදාළ මහා සංඝරත්නය විෂයෙහිලා දානය පිළිගැන්වීමෙන් අනතුරුව අටපිරිකර ද පූජා කළහ. ඉන් පසුව, කඨිනානිසංශ ධර්ම දේශනාව විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුශාසක පූජ්‍ය අම්බලන්ගොඩ වජිරඥාණ නාහිමිපාණන් විසින් සිදු කිරීමෙන් අනතුරුව මෙවර ‘කඨින’ පූජෝත්සවය නිමාවට පත්විය.