Header

Sri Lanka Army

Defender of the Nation

12th November 2021 15:27:21 Hours

යුද්ධ හමුදා භටපිරිස් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්ව කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑමේ සිදුවීම පිළිබඳ නිරීක්‍ෂණයක

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් අධික වර්ෂාව හේතුවෙන් පහල කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ නාය යෑමේ සිදුවීම සමීපව නිරීක්‍ෂණය කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (11) දින උදෑසන කඹ යොදාගනිමින් එම පර්වතයේ පහළට බසිනු ලැබූහ.

එහිදී, 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියා සහ භටපිරිස් මෙම ක්‍රියාන්විතය සඳහා දායකත්වය දැක්වූ අනෙකුත් භටපිරිස්වල සහයෝගයද ඇතිව කඹයක් භාවිතයෙන් එම පර්වතයේ පහළට බැස කඳුවැටියේ පහළින් ගලාබසින ජල මාර්ග සමීපව නිරීක්‍ෂණය කර අවශ්‍ය ඡායාරූප ගනු ලැබූ අතර විශේෂඥයන් හමුවේ ලබාදිය යුතු අනෙකුත් වැදගත් කරුණු ගොනු කරගත්තේය. තවදුරටත් සිදුකරනු ලබන ආරක්‍ෂක පියවරක් ලෙස පොලිස් නිලධාරින්ගේ සහ එම ප්‍රදේශයේ වෙළඳුන්ගේ සහයෝගය ඇතිව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් පසෙක පිහිටි කුඩා වෙළඳසැල් ඉවත් කිරීමට ද භටපිරිස් කටයුතු කළහ.

එම අවස්ථාවට සහභාගී වූ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ක්‍රියාන්විතයේ නිරත යුද්ධ හමුදා භටපිරිස් දිරිගැන්වීමට කටයුතු කළහ.  

මේ අතර, 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 141 වන බලසේනාවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින පෙරවරු 10.30 ට පමණ ගම්පහ, අකරවිට ගම්මානයේ ප්‍රධාන මාර්ගයේ ඉදිකරමින් තිබූ බෝක්කුවක් ගංවතුර තත්ත්වය හේතුවෙන් ජලයේ ගසාගෙන යාම නිසා තාවකාලික ලී පාලමක් ඉදිකිරීමට කටයුතු කරන ලදී. එහිදී, යුද්ධ හමුදා භටපිරිස් හදිසි පියවරක් වශයෙන් ගැල්වනයිස් පයිප්ප සහ ලෑලි භාවිතා කරමින් තාවකාලික පාලමක් සකස් කර එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ගමනාගමනය පහසු කරන ලදී.

මතුගම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් පිඩාවට පත් සිවිල් වැසියන්ට සහ පරිපාලන නිලධාරින්ට සිය දෛනික රාජකාරි කටයුතු සිදුකරගෙන යාම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 612 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 01 වන ශ්‍රී ලංකා පුරෝගාමී බලකායේ භටපිරිස් 2021 නොවැම්බර් මස 07 දින සිය දායකත්වය දැක්වූහ.  

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දා ගලිගමුව, හතගොඩ ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටීමෙන් ජීවිතක්‍ෂයට පත්වීමේ සිදුවීමත් සමඟ එම ප්‍රදේශයේ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. එම සෝදිසි මෙහෙයුම් අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (11) දින කඩා වැටුණු පස් කන්දට යට වී ජීවිතක්‍ෂයට පත් පුද්ගලයින් දෙදෙනෙකුගේ දේහයන් සොයාගැනීමට භටපිරිස් සමත්වූහ.  

එමෙන්ම, යුද්ධ හමුදා 1 වන බලකාය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින දළුව ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් පුද්ගලයින් සඳහා පිසූ ආහාර පාර්සල් 150 කට වැඩි ප්‍රමාණයක් බෙදාදීමට කටයුතු කරන ලදී. මෙම ව්‍යාපෘතිය 58 වන සේනාංකයේ සේනාංකාධිපති සහ අදාළ අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.